පුටින් ගේ දැඩි ප්‍රකාශයක් නිසා රුසියාවේ උණුසුම් තත්ත්වයක්.. කෙටි කාලයක් තුළ සිදුවූ දේ මෙන්න..

Vladimir Putin Russian Federation
By Aruna Sep 23, 2022 02:30 AM GMT
Report

රුසියානු හමුදාවට අලුත් සාමාජකයින් බඳවා ගැනීමට ජනාධිපති ව්ලැද්මීර් පුටින් කර ඇති නියෝගය හේතුවෙන් රට අතහැර පළායන එරට වැසියන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රුසියාවට ආසන්න ජෝර්ජියා දේශ සීමාවේ දිගු රථවාහන පෝලිම් නිර්මාණයවී ඇති බවයි.

එක් රථවාහන පෝලිමක දිග කිලෝමීටර් 05 කට අධිකයි.

තවත් පිරිස් පවසා ඇත්තේ තමන්ට දේශ සීමාව හරහා යාමට පැය 07 ක් ගතවූ බවයි.

ජනාධිපතිවරයාගේ නියෝගය ලද වහාම සියල්ල අතහැර තම විදෙස් ගමන් බලපත්‍රය පමණක් රැගෙන දේශ සීමාවට පැමිණි පුද්ගලයින් ද ඒ අතරට අයත්.

මෙලෙස පැමිණෙන පුද්ගලයින්ගෙන් බහුතරයක් රුසියානු හමුදාවට සාමාජිකයින් බඳවා ගන්නා වයස් සීමාවට අයත් පිරිසක්. ජෝර්ජියාව යනු රුසියානුවන්ට වීසා නොමැතිව ඇතුල්විය හැකි රටක්.

වීසා අවශ්‍ය වන ෆින්ලන්තයට පවා ඇතුලුවීමට දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම තුර්කිය, සර්බියාව මෙන්ම ඩුබායි වෙත ද යාම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට රුසියානුවන් තුළ මේ වන විට ඇතිව ඇත්තේ ඉහළ උනන්දුවක්.

එම සියල්ලටම හේතුවී ඇත්තේ රුසියානු හමුදාවට අලුතින් ලක්ෂ 03 ක් බඳවා ගැනීමට තීරණය කිරීමත් සමඟයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now