සැකයක් නිසා රුසියානු පවුලක් කටුනායකදී නවතා ගත් හේතුව.

By Sithumi Jan 25, 2023 04:48 PM GMT
Report

සෙල්ලම් පිස්තෝල බව හැඟවෙන උපකරණ දෙකක් නිසා තිදෙනෙක්ව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (25) දහවල් නවතාගෙන තිබෙනවා.  

ඒවා සොයාගෙන තිබෙන්නේ රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලක් තුළ තිබීයදි.. 33 හැවිරිදි මෙම රුසියානු ජාතිකයා, ඔහුගේ 26 හැවිරිදි රුසියානු ජාතික බිරිඳ සහ 09 හැවිරිදි පුතා සමග රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට එලෙස අද දහවල් 12.10ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.  

ඔවුන් කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචිවී සිටිමින් රුසියාවේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වීමේ සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක නිරතවී සිටින බවටද තොරතුරු හෙළිවී තිබෙනවා. මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසීමේදී ඔවුන්ගේ ගමන් මල්ලේ මෙම උපකරණ තිබී ඇති අතර ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සිදු කළ ස්කෑන් පරීක්ෂාවේ දී ඒවා පිළිබඳව අනාවරණය වී තිබුණා.  

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම රුසියානු ජාතිකයින්ව නවතාගෙන තිබෙනවා. මෙම සෙල්ලම් පිස්තෝලවල උණ්ඩ නිකුත් කරන Trigger කොටස නොතිබූ බවයි කටුනායක ගුවන් තොටුපොළ පොලීසියෙ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.

  නමුත් උණ්ඩ ගමන් කරන බටය යකඩවලින් නිර්මාණය කර තිබීම සැකසහිත බවද එම ප්‍රකාශකයා පවසා තිබෙන අතර මෙම උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත හෙට (26) දින ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය තීරණය කර තිබෙනවා. එහිදී ලැබෙන නිගමනය මත මෙම රුසියානු ජාතිකයින් පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතය.

 අදාළ රුසියානු ජාතිකයින් වෙනුවෙන් මේ වනවිට නීතීඥවරයෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ ඉදිරිපත්වී සිටිනවා.  

මේ පිළිබඳ විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි, කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක සුගත් රෝහණ සහ පොලිස් සැරයන් (38226) දිසානායක විසින් සිදු කරමින් පවතී.