රෝහිතගේ ගමන් තහනම ගැන අධිකරණයෙන් විශේෂ තීරණයක්

CID - Sri Lanka Police Rohitha Abeygunawardana Sri Lanka
By Sewvandhi Sep 29, 2022 01:58 AM GMT
Report

පසුගිය මැයි මස 09 වනදා ඇති වූ සිද්ධියට අදාළව විදේශ ගමන් තහනමක් පනවා තිබූ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

මන්ත්‍රිවරයා ගේ දරුවාගේ විදේශ අධ්‍යාපනය සදහා එංගලන්තයට යාමට සහ ව්‍යාපාරික කටයුත්තක් සදහා ඉතාලියට යාමට අවසර ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත තාවකාලිකව මුදා හැරීමට අවසර ලබා දුන්නා.

ඔක්තෝබර් 10 සිට ලබන නොවැම්බර් මස 20 දක්වා විදේශ ගමන් තහනම් ඉවත් කෙරුණු අතර ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය රෙජිස්ටර් වරියට නියෝග කළා.

එම නඩුවට අදාළව ඔහු විදේශ ගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වන්නේද යන්න මහේස්ත්‍රාත් වරයා විමසා සිටි අතර එහිදී විරෝධයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

රෝහිත අබේගුණවර්ධන මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නැති බවත් විමර්ශන සහාය සදහා නීතිපති උපදෙස් මත විදේශ ගමන් තහනම පනවා ඇති බවත් ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටියා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now