සුපිරි වෙළඳසැල් වලින් බඩු හොරකම් කර,සායට යටින් සගවාගෙන, මහ දවල්ම බූරුවා ගහන අක්කා නගෝ තුන්දෙනා..

Sri Lanka Police Sri Lanka Western Province
By Sithumi Nov 21, 2022 02:30 PM GMT
Report

සුපිරි වෙළෙඳසල්වලට සංවිධානාත්මකව ඇතුළු වී භාණ්ඩ සොරා ගැනීමේ නිරත එක ම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු, සහෝදරයෙකු සහ තවත් කාන්තාවක අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. එම කල්ලිය විසින් සොරාගෙන ගන්නා ලද රුපියල් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනා, මිලෙන් අධික කිරිපිටි ටින්, කුඩ, හිසකෙස් ගල්වන ආලේප, වේදනා නාශක පෙති ඇතුළු භාණ්ඩ රැසක් මෙන් ම සොරකම් සඳහා පිරිස ගමන්ගත් ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

හැඳ සිටින සායට යටින් කලවා ප්‍රදේශය හොඳින් තද වන සේ මසන ලද ඇදෙනසුලු විශේෂිත කොට කලිසමක් ඇඳ පාරිභෝගිකයන් සේ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළු වන කාන්තාවන් තිදෙනා එහි තිබෙන කූඩයක් රැගෙන මිලෙන් අධික භාණ්ඩ ඒ තුළට දමාගෙන වෙළෙඳසල තුළ පාළු ස්ථානයකට ගොස් එම භාණ්ඩ හැඳ සිටින විශේෂ කලිසම තුළ රුවාගෙන භාණ්ඩ සොරා ගැනීම පුරුද්දක් කර ගෙන තිබූ බව පොලිසිය කියයි.

එක් අයෙකු භාණ්ඩ සඟවා ගන්නා අතරේදී අනෙක් දෙදෙනා ඔත්තු බලා ඇතැයි පොලිසිය කියයි. භාණ්ඩ සොරා ගැනීමෙන් අනතුරුව වෙළෙඳසලේ සේවකයන්ට සැකයක් ඇති නොවන පරිදි අඩු මිල සඳහන්ව තිබෙන භාණ්ඩ කිහිපයක් පමණක් මුදල් අයකැමි වෙත ඉදිරිපත් කර වෙළෙඳසලෙන් පිට වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සුපිරි වෙළෙඳසල තුළදී භාණ්ඩ කලිසම තුළ සඟවා ගැනීමට පෙර වෙළෙඳසල්වල සවිකොට ඇති කැමරා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන අයුරු දර්ශනවල පටිගත වී ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු, කාන්තාවන් තිදෙනා වෙළෙඳසල් කරා ප්‍රවාහනය කර ඇතැයි ද පොලිසිය කියයි. බස්නාහිර පළාත දකුණු දිසාව භාර අපරාධ කොට්ඨාසය වෙත කාන්තාවන් පිරිසක් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන සමග ලද පැමිණිලි දෙකක් අනුව කළ දීර්ඝ විමර්ශනයේදී සැකකාර කාන්තාවන් තිදෙනා සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ය.

බහුතරයක් දෙනා පොලිසිවලට පැමිණිලි කර නැතැයි විමර්ශනවලදී හෙළි වෙයි. සැකකාරියන් පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී එහි ගබඩා කර තිබූ මිලෙන් අධික කිරිපිටි ටින් ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. දහවල් කාලයේ වෙළෙඳසල්වලට සොරකමේ ගොස් එම භාණ්ඩ විකුණා ලබා ගන්නා මුදල්වලින් බූරු ගැසීම මොවුන් කාලයක සිට කර තිබූ බව පොලිසිය කියයි.

මෙම කල්ලිය අම්බලන්තොට සිට හලාවත දක්වා සුපිරි වෙළෙඳසල්වලට වරින්වර යමින් දීර්ඝ කාලයක සිට සොරකමේ යෙදී ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් කාන්තාවන් අතරින් වැඩිමල් සහෝදරිය මෙම කල්ලිය මෙහෙයවා ඇති අතර සොරකම් කරන සෑම භාණ්ඩයක් ම ඇය වෙත ලබා දිය යුතුව ඇතැයි ද සෙසු සැකකාරියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. එම ප්‍රධාන සැකකාරියට මහාධිකරණයේ මත්කුඩු චෝදනාවක් ද විභාග වන බව ද පොලිසිය කියයි. මෙම සංවිධානාත්මක කල්ලිය මීට පෙර ද අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තියන් බව ද පොලිසිය කියයි. සංවිධානාත්මක සොර කල්ලිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now