සහල් මිල අසාමාන්‍ය ලෙස වෙනස් වෙයි..සිදුවූ දේ මෙන්න.

Sri Lanka Business Bandula gunawardhane Rice prices
By Aruna Jan 11, 2022 07:28 AM GMT
Report

මේ වන විට වෙළඳපොලේ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 25 ත්, 30 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඉකුත් පළවෙනිදා සිට ඊයේ දිනය දක්වා වූ දින 10 ක කාලය තුළයි. කෙසේවෙතත් සම්බා සහ කීරි සම්බා යන සහල් වර්ගවල මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුව නොමැති බවයි අප කළ සොයාබැලීමකදී වෙළඳසැල් හිමියන් සඳහන් කළේ.

දින 10 ක් තුළ මෙලෙස අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයෙන් ද විමසීමක් කළා.

එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සාමාන්‍යයෙන් සෑම වසරකම දෙසැම්බර් මස අවසාන සතියේ සිට ඊළඟ වසරේ ජනවාරි මස මුල් සති දෙක දක්වා කාලය තුළ මිල ඉහළයාම සාමාන්‍ය සිදුවීමක් බවයි.

කෙසේවෙතත් රුපියල් 25 ත්, 30 ත් අතර මුදලකින් දින 10 ක් ඇතුලුත මෙලෙස සහල් මිල ඉහළයාම අසාමාන්‍ය තත්ත්වයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස සහල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවවී ඇත්තේ අවශ්‍ය සහල් තොග වෙළඳපොළට නොලැබීමයි.

2020 -2021 යල සහ මහ කන්න දෙකෙහි ලබාගත් වී අස්වැන්න මෙට්‍ර්ක් ටොන් මිලියන 05 ක් පමණ වනවා.

එය සහල් කිරීමෙන් පසු එම තොගය වසර එක හමාරකට ප්‍රමාණවත් බවයි අප කළ සොයාබැලීමකදී තහවුරු වුණේ.

කෙසේවෙතත් එම කන්නවලදී ලබාගත් වී තොග සහල් කර වෙළඳපොළට නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවී නැහැ.

ඒ අනුව එම වී තොග විශාල ප්‍රමාණයක් මහා පරිමාණ සහල් මෝල් හිමියන් සන්තකයේ ඇති බවටයි වාර්තා වන්නේ.

තවත් වී තොග ප්‍රමාණයක් ගොවීන් සතුව පවතිනවා.

කන්නයකදී ලබාගන්නා අස්වැන්නෙන් ගොවියෙකු මීට පෙර වී බුසල් 50 ක් පමණ විකිණීම සාමාන්‍යයෙන් සිදුකළද මෙවර එය වී බුසල් 30 දක්වා අඩුවී තිබෙනවා.

රටේ පවතින අවිනිශ්චිත තතත්වයන් හමුවේ ගොවීන් සිය වී අස්වනු සාමාන්‍ය පරිදි අලෙවි කර නොමැති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂන සහ පුහුණු ආයතනය සදහන් කළේ.

මෙවැනි තත්ත්වයන් හේතුවෙන් ගතවූ දින 10 ක් තුළ වෙළඳපොලේ සහල් මිල අසාමාන්‍ය පරිදි ඉහළයාම සිදුවුණා.

ශ්‍රී ලංකාවේ දෛනික සහල් පරිභෝජනය මෙට්‍ර්ක් ටොන් 6,000 ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now