තැපැල් ස්ථානාධිපතිවරයා නොසිතූ ලෙස ජීවිතක්ෂයට
දඹුල්ල පොලීසිය කියා සිටියේ, ගසක් කපා බිම හෙළීමට උත්සාහ කිරීමේදී එම ගසටම යටවී දඹුල්ල සිසිරවත්ත ප්රදේශයේ පදිංචිව සිටි විශ්රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු මියගොස් ඇති බවයි.
ඊයේ (04) එසේ මියගොස් ඇත්තේ දඹුල්ල සිසිරවත්ත ප්රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. එම්. ජයසේන නම් හැත්තෑ තුන් හැවිරිදි අයෙකි.
දඹුල්ල, අතුපාරයාය ප්රදේශයේ ඔහුගේ හිතවතුන්ගේ ගෙවත්තක තිබූ විශාල කොලොන් ගසක් කපා ඉවත්කිරීම සඳහා කිහිපදෙනෙකු එක්වී තිබුණි.
පොලීසිය පැවසුවේ, අඩි පනහකට වඩා උසින් යුතු මෙම කොලොන් ගස කිහිපදෙනෙකු කියත් යන්ත්රයක් යොදාගෙන කැපීම සිදුකරද්දී කඳ මැදට ලණුවක් දමා තවත් කිහිපදෙනෙකු ගස පෙරළීම සඳහා උත්සාහ කර ඇති බවයි.
ඥාතීහු පවසන්නේ, එම කඳ ඇදීම සඳහා ඇති ලණුව දිග ප්රමාණය මදි වීම නිසා ඇදීම සිදුකළ පිරිස ගස පෙරළෙනවාත් සමඟ ඉන් ඉවතට පැනීමට සාකච්ඡා කරගෙන තිබුණු බවයි.
එහෙත් එම ගස එකවරම ගස බිම පතිත වී ඇති අතර ඊට එම පුද්ගලයා යටවී තිබුණි. සිද්ධියෙන් පසුව ප්රදේශවාසීන් ගසට යට වී සිටි පුද්ගලයාව ඉන් එළියට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන යන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය.
Sponsored By Sarrita Jewellery