බෙංගාල බොක්කේ බිහිසුණු 'අක්වාන්' සුළි කුණාටුව ලංකාවට ළඟා වෙයි
බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (18) පස්වරු 3.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (19) පස්වරු 3.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි බෙංගාල බොක්කේ දකුණු සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති 'අක්වාන්' (Akvan) ප්‍රබල සුළි කුණාටුව අද (18) පෙරවරු 11.30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 680ක් පමණ ඊසාන දෙසින්, උතුරු අක්ෂාංශ 13.1° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බවයි.
මෙම සුළි කුණාටුව තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර, නොවැම්බර් 20 වැනිදා පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයේ නෙලෝර් (Nellore) සහ විශාකාපට්නම් (Visakhapatnam) අතරින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව උතුරු අක්ෂාංශ 10°ත් 20°ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80°ත් 95°ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
දැනටමත් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් කඩිනමින් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම ඉදිරියේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ අනතුරු ඇඟවීමේ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.