සුළඟ රළු වෙයි - දිස්ත්‍රික්ක රැසකට කාලගුණෙන් රතු නිවේදනයක්

Sri Lanka Weather Rain Stay Safe Flood
By Malith Madushan Jun 11, 2026 05:08 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපැවැත්විය හැකි තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලද විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයකින් තද සුළං හමනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. 

තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයකින් තරමක තද සුළං හමනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ ජනතාව සහ ධීවර හා ගොවි ප්‍රජාව අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද බලධාරීන් දැනුම් දී ඇත.