මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට

Crime Branch Criminal Investigation Department Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 11, 2026 04:23 AM GMT
Report

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන ‘රත්මලානේ සයිමා’ නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, අදාළ සැකකරු ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලීසිය වෙත භාරදී ඇති බවයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, රතු නිවේදනයක් නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියානු පොලීසියේ සහ ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහු සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකරුවන් තිදෙනාම ඊයේ පස්වරුවේ වැඩිදුර විමර්ශන සඳහා මෙරටට රැගෙන ආ බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

ඔහු 2014 වසරේදී පේරාදෙණිය පොලිස් වසමේදී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සහ 2016 වසරේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව, අදාළ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.