මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ හැටි ජනපති කියයි..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, බැඳීම් සහිත ක්‍රියාවලියක් හෝ පොදු යාන්ත්‍රණයක් මගින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය වේගවත්ව සහ කාර්යක්ෂමව සිදුකළ නොහැකි බවයි.
ප්‍රංශයේ පැරිස් නුවර "වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම" යන තේමාව යටතේ පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ඊයේ (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා සහභාගී විය. "ණය සහ IMF අරමුදල් යෙදවීම, අප සිටින ස්ථානය සහ ඉදිරියට යා හැකි ආකාරය" සම්බන්ධයෙන් පැවැති සංවාදයකට ජනාධිපතිවරයා එක්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"ණය ප්‍රතිව්‍යහුගතකරණයේ මීළඟ අදියර IMF මීළඟ ණය වාරිකය ලබාගැනීමට පෙර නිමාකළ හැකි නම් එය යහපත් ප්‍රවණතාවයක්. ඒ සඳහා මාර්ගය සැකසී ඇත්ද යන්න දැන් විමසීම දුෂ්කර වුවත් ඒ පිළිබඳ අත්දැකීම් කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමතියි. ණයහිමියන්ට ප්‍රමුඛත්වය ලබාදෙන ප්‍රවේශය අපේ සාර්ථකත්වයට මූලික වනවා.විශේෂයෙන් IMF සමග අපේ ණය වැඩසටහනට එය ඉතා වැදගත්."
"දෙවනුව අපට නිල ණයහිමියන්ගේ කමිටුවේ අනුග්‍රාහකයෙක් සිටිම වාසිදායකයි. තෙවැනුව මෙය ක්‍රියාවට නැංවීමේදී ඉතා ප්‍රායෝගිකව කටයුතු කිරීම වැදගත් වනවා. මම හිතන්නේ නැහැ.. කොන්දේසි සහිත ක්‍රියාවලියක් හෝ පොදු යාන්ත්‍රණයක් මගින් වඩා වේගවත්ව සහ කාර්යක්ෂමව මෙම කාර්ය සිදුකළ හැකි බව.මැදි ආදායම් රටක ප්‍රවේශය කඩිනමින් ඉදිරියට යාම මත පදනම් විය යුතුය."
"පොදු යාන්ත්‍රණයක් යටතේ අපි වේගයෙන්ම ගමන් කළ හැකියි. එහෙත් මන්දගාමීව ණයගැති රට ලෙස එසේ ඉදිරියට ගොස් ඵලක් නැහැ. ඒකයි මේ පොදු යාන්ත්‍රණය අපට නොගැළපෙන බව කියන්නේ. ඉදිරියට යාමේ ක්‍රියාවලියක් නොමැතිවීම ගැන අප වෙහෙසට පත්වී ඉන්නේ.
එහිදී අපට දැරීමට සිදුවන ආර්ථික සහ සාමාජයීය හානිය ඉතා විශාලයි. මේ නිසා නිල ණයහිමියන් සඳහා අවස්ථානුකූල වේදිකාවක් ඇති කිරීමට අප උත්සාහ කළා."
"ඊට පැරිස් සමාජයේ සාමාජික රටවල් සහ අපගේ ණයහිමියන් එක් කිරීමටයි අපට අවශ්‍ය වුණේ. ඉන්දියාව සහ හංගේරියාව සහ අනෙකුත් රටවල් එම අවස්ථාවේ වේදිකාවට සාකච්ඡා සඳහා පැමිණියා. චීනය නිරීක්ෂණ මට්ටමින් සහභාගී වුණා. අප තොරතුරු දත්ත සියලු පාර්ශ්වයන් සමග විනිවිදභාවයකින් යුතුව හුවමාරු කරගත්තා."
"ඊළඟට මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තූතිය පළ කළ යුතුයි. IMF මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණයෙන් අප එම කණ්ඩායම් දෙක සමග කටයුතු කරනවා. ඊට අමතරව ජපානය, ඉන්දියාව සහ චීනය සමග සහ වෙළෙඳාම තවදුරටත් ඒකාබද්ධ කිරීම අනාගතය සඳහා වූ සංවර්ධන වැඩසටහන් පිළිබඳව වෙන් වෙන්ම අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට ද අපට උපකාරී වුණා."