ජනපතිට නව පදවියක්

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka
By Sithumi Nov 21, 2022 04:09 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කළේය. ඒ අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දීය. එමෙන්ම බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් නිල කර ලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ පත්වීමේ අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවයි.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 75 වන නිදහස් සැමරුම සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පරිසරය සම්බන්ධ වැඩසටහන්වලට එක්වන ලෙස ද ජනාධිපතිවරයා බාලදක්ෂ, බාලදක්ෂිකාවන් වෙත ආරාධනා කළේය. බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now