මිලියන 9කට ගත් ඉඩමක් මිලියන 10කට විකුණද්දී ලාභය වෙනුවට මුළු මුදලටම බදු
රුපියල් ලක්ෂ 5 ඉක්මවන මුදල් ගනුදෙනු නියමිත ගෙවීම් ක්‍රමවේදයෙන් බැහැරව සිදු කිරීම හේතුවෙන් බදු ගණනය කිරීමේදී ඉහළ බදු වගකීමකට මුහුණ දීමට සිදුවිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඉඩම්, දේපළ හා වාහන මිලදී ගැනීම් සහ විකිණීම් මෙන්ම ව්‍යාපාරික වියදම් සඳහා ද මෙම රෙගුලාසි බලපාන බව දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පෙන්වා දී තිබේ.
ඔහු සඳහන් කරන පරිදි, අනුමත ගෙවීම් ක්‍රමවේදයෙන් බැහැරව මුදලින් ගෙවන රුපියල් ලක්ෂ 5 ඉක්මවන ව්‍යාපාරික වියදම් බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී අඩු කළ හැකි වියදම් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප විය හැකිය.
ඒ අනුව, ව්‍යාපාරයක් රුපියල් මිලියනයක වියදමක් මෙලෙස මුදලින් ගෙවා ඇත්නම්, එම වියදම බදු අඩු කිරීම සඳහා භාවිත කළ නොහැකි තත්ත්වයක් ඇති විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස බදු අය කළ හැකි ලාභය රුපියල් මිලියනයකින් ඉහළ යයි.
සියයට 30ක ආයතනික ආදායම් බදු අනුපාතයට යටත් වන ව්‍යාපාරයකදී එම තත්ත්වය හේතුවෙන් රුපියල් 300,000ක අමතර බදු වගකීමක් ඇති විය හැකි බව ද නිලධාරියා පෙන්වා දෙයි.
මෙම රෙගුලාසි දේපළ ගනුදෙනුවලදී ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. උදාහරණයක් ලෙස, පුද්ගලයෙකු රුපියල් මිලියන 9කට ඉඩමක් මිලදී ගෙන පසුව එය රුපියල් මිලියන 10කට විකුණන්නේ නම්, සාමාන්‍යයෙන් බදු අය කළ හැකි ලාභය ලෙස සැලකෙන්නේ රුපියල් මිලියනයක වෙනසයි.
එහෙත්, ඉඩම මිලදී ගැනීමේදී නියමිත ගෙවීම් ක්‍රමවේද අනුගමනය නොකර මුදලින් ගෙවීම් සිදු කර තිබේ නම්, එම මිලදී ගැනීමේ පිරිවැය බදු ගණනය කිරීමේදී පිළිගැනීම ප්‍රතික්ෂේප විය හැකි බව නිලධාරියා සඳහන් කරයි.
එවැනි අවස්ථාවකදී, ඉඩම මිලදී ගැනීමට වැය කළ රුපියල් මිලියන 9ක මුදල අඩු කිරීමට නොහැකි වීමෙන්, සැබෑ ලාභය වන රුපියල් මිලියනය වෙනුවට රුපියල් මිලියන 10ක විකුණුම් වටිනාකම මත බදු අය කළ හැකි ලාභය ගණනය වීමේ අවදානමක් පවතී.
විධිමත් මූල්‍ය ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම මෙම සීමාවන් පැනවීමේ අරමුණ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරියා පවසයි.
ඒ අනුව, රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු සිදු කිරීමේදී අනුමත ගෙවීම් ක්‍රමවේද භාවිත කිරීම වැදගත් වන අතර, එසේ නොකිරීම අනපේක්ෂිත බදු බරකට හේතු විය හැකි බවට දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.