ස්වාධීන පක්ෂ එකමුතුව,මුස්ලිම් කොංග්‍රසය සහ පොදුජන තරුණ පෙරමුණ ,ජනාධිපතිවරණයේ දී තමන් සහයදෙන අපේක්ශකයා ප්‍රකාශ කරයි..!
ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී තම පාර්ශවයේ සහය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙත ලබාදෙන බව විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිස නියෝජනය කරන ස්වාධීන පක්ෂ එකමුතුව ප්‍රකාශ කළා.
ඒ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ වනවිට රැස්වී තිබෙනවා. ඒ, එම පක්ෂ මූලස්ථානයේදියි.
කෙසේ වෙතත් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අදාළ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි. මෙවන් පසුබිමක ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්ව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදියි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ විපක්ෂයත්, ආණ්ඩු පක්ෂයත් අතර අද ගොඩනැගී ඇත්තේ මතවාදයකට වඩා සම්මුතිවාදයක් බවයි. තමන් ජනපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවත්, සමගි ජනබලවේගයේ සහය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙත ලබාදෙන බවත්, විපක්ෂ නායකවරයා මීට පෙර සඳහන් කළා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් අද පස්වරුවේ කියා සිටියේ සමගි ජනබලවේගය ගත් තීරණය අනුව යමින් තම පක්ෂයද හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට තීරණය කළ බවයි.
එසේම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අද පස්වරුවේ තීරණය කළේ හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමටයි.
කෙසේ වෙතත් හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී සහය ලබාදෙන්නේ කුමන පාර්ශවයටදැයි දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මේ වනතුරු නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.
ඡන්දය ලබාදීම පිළිබඳ තීරණයකට එළඹීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අද පස්වරුවේ එහි නායක ආර්. සම්බන්ධන්ගේ නිවසට රැස්වී සාකච්ඡා කිරිමට නියමිත බවද වාර්තා වුණා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |