රාජිතගේ නඩුව ගැන දුන් විශේෂ නියෝගය

Dr Rajitha Senaratne Sri Lanka Bribery Commission Sri Lanka
By Sewvandhi Oct 19, 2022 11:26 AM GMT
Report

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා නොවැම්බර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

මෙම නඩුව අද (19) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ මෝසමක් මත කැඳවන ලදි. එය කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේ අදාළ මෝසම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසය.

ඒ අනුව මෝසම් ඉල්ලා අස්කර ගැනීමට අවසරදුන් විනිසුරුවරයා අනතුරුව මෙම නඩුව "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා නොවැම්බර් මස 30 වනදා කැඳවන ලෙස නියම කළේය.

2014 වසරේ අගෝස්තු මස පළමුවනදා සහ එම වසරේ නොවැම්බර් මස පළමුවනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ. කේ. ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගම වෙත අඩු මුදලකට බදුදීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනාකොට එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනුකර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now