QR කේතය නැතිව තෙල් ගහන පිරිසක් ගැන දැනුම් දීමක්..

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 11, 2022 02:21 AM GMT
Report

රජයේ ආයතනවල වාහන සඳහා තවමත් QR කේතයක් හඳුන්වා දී නොමැති බැවින් එම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල් දැඩි අපහසුතාවකට පත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටි.

රජයේ ආයතනවල වාහන පැමිණ තෙල් ලබාදෙන ලෙස ඉල්ලූවිට ඔවුන්ට QR කේතයක් නොමැති වුවත් සාමාන්‍ය ක්‍රමයට තෙල් ලබාදීමට පිරවුම්හලට සිදුවන බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසා සිටියේය.

ඉන්ධන පිරවුම්හල්වලින් අක්‍රමිකතා සිදුවනවා යැයි බොහෝ දෙනා පැවසුවත් මානුෂීය හේතුන් මතද ඇතැම් අවස්ථාවල පද්ධතියට බැහැරව ඉන්ධන නිකුත් කිරීමට සිදුවන බවද හෙතම ප්‍රකාශ කළේය.

එමෙන්ම පිරවුම්හලක සේවය කරන සියලුම පොම්පකරුවන් වෙන් වෙන්ව අධීක්ෂණය කරමින් ඔවුන් QR කේතයට අනුව අක්‍රමිකතාවකින් තොරව ඉන්ධන ලබාදෙනවාද යන්න සොයාබැලීම එම ඉන්ධන පිරවුම්හලේ හිමියාට ප්‍රායෝගිකව කළ නොහැක්කක් බැවින් ඒ ඒ සේවකයා දිනකට මෙම පද්ධතියට අනුව නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය නිරීක්ෂණයට යම් ක්‍රමයක් සකස් කළ යුතු බවද ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටි කපිල නාඔටුන්න මෙසේද ප්‍රකාශ කළේය.

” බලශක්ති අමාත්‍යාංශයෙන් කියලා තියෙනවා යම් ඉන්ධන පිරවුම්හලක් කිව්.ආර්. කේතයට ඉන්ධන නිකුත් කරන්නේ නම් ඒ පිරවුම්හලට තෙල් දෙන්නේ නැහැ කියලා.

අපි කියන්නේ අමාත්‍යාංශයෙන් ඒක කියන්න කලින් ඔවුන් දැනගන්න ඕනේ තවමත් රජයේ ආයතනයකට කිව්.ආර්. එකක් දීලා නැහැ කියන එක.

ෂෙඩ් එකකට ඇවිල්ල තෙල් ඉල්ලුවම එහෙම ආයතනයක් අපිට මොකක්ද තියෙන බලතල දෙන්න බැහැ කියන්න.

පොලිසියේ සමහර වාහන එනවා හැබැයි කිව්.ආර්. එකක් නැහැ. අපිට තෙල් දෙන්න වෙනවා.

අපිට චෝදනා එල්ල කරන්න කලින් එයාලා දැනගන්න ඕනේ සමස්ත ක්‍රියාවලියම හරිගස්සන.

කොටසකට නැහැ කොටසකට තියෙනවා එහෙම වුණාම ඒ පිරිසත් ඉන්ධන පිරවුම්හලත් දෙකම අසරණ වෙනවා.

අපේ පොම්පකරුවන්ට ගාණක් දුන්නම ෆුල් ටෑන්ක් ගහලා දෙනවා කියලා කියනවා.

එහෙම සිද්ධි වාර්තා වුණා. අපි නැහැ කියන්නේ නැහැ. ඒක වෙන නිසා තමයි මුල ඉඳලම කිව්වේ අපි ඉන්ධන පිරවුම්හල්වලට වෙන වෙනම දත්ත සඳහන් කරගන්න පුළුවන් විදියට පද්ධතියක් හදලා දෙන්න කියල.

එතකොට ඔවුන්ට එහෙම කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ” මේ සම්බන්ධයෙන් අපි බලශක්ති අමාත්‍යාංශයෙන් විමසුමක් කළ අතර ඔවුන් කියා සිටියේ එළඹෙන දින කිහිපය තුළ රාජ්‍ය ආයතනවල වාහනවලට ද QR කේතයක් හඳුන්වා දෙන බවය.

කේත ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඔවුන් කියා සිටි. ‘’


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now