QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට පියවර - අලුත්ම වැඩ පිළිවෙලක්..!

Gampaha Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Oct 17, 2022 07:58 AM GMT
Report

ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේ පියවරක් ලෙස QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ දිසාපති එස්. සත්‍යානන්ද අනුමැතිය ලබා දී තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ඊයේ (16) පැවති සාකච්ඡාවේදී මේ බව තීරණය කර ඇත.

ගම්පහ දිසාපති එස්.සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවත්වා ඇත. ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේදී QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීම බාධාවක්ව ඇති බව පළාත් පාලන ආයතන ප්‍රධානීහූ මෙහිදී පෙන්වා දී තිබේ. එහිදී ගම්පහ දිසාපති එස්. සත්‍යානන්ද මහතා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ, අවශ්‍යතාවය අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසය.

ඒ බව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දෙන ලෙසද දිසාපතිවරයා උපදෙස් දී ඇත. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප්, 140 බලසේනා මූලස්ථානයේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්, විදුලිබල මණ්ඩලයේ නිළධාරින් ඇතුළු තවත් රාජ්‍ය ආයතනවල නිලධාරින් පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ නැවත ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පලාත්පාලන ආයතන ප්‍රධානීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව ගංවතුර තත්ත්වය පහව ගිය වහාම දිස්ත්‍රික්කයේ සියලුම ඇළ මාර්ග, ගංඟාවන් ඇතුළු ජලබස්නා මාර්ග පිරිසිදු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට රජය සමග තමන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now