නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව මහජනතාව එක්විය යුතුයි - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය
‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (Protection of the State from Terrorism Act Bill) ලෙස හැඳින්වෙන නව ත්‍රස්ත විරෝධී නීතිය සම්මත කිරීමට රජය සූදානම් වන බවත්, එය පරාජය කිරීම සඳහා මහජනතාව එක්විය යුතු බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF) පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම බලමණ්ඩලයේ මදුෂාන් චන්ද්‍රජිත් මහතා මේ බව සඳහන් කළේය.
රජය බලයට පත්වීමට පෙර මෙවැනි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් හඳුන්වා නොදෙන බවට පොරොන්දු වී තිබුණද, මේ වනවිට නව නීතියක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.
යෝජිත පනත් කෙටුම්පත ක්‍රියාත්මක වුවහොත් රජයට එරෙහි විරෝධතා සහ දේශපාලන ක්‍රියාකාරකම් සීමා කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය විය හැකි බවටද ඔහු චෝදනා කළේය.
මෙම පනත් කෙටුම්පත මගින් පුද්ගලයන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පවා බලතල හිමිවන බව ඔහු සඳහන් කළේය.
දේශපාලන රැස්වීම් හෝ පෙළපාලි අතරතුර පොදු දේපළවලට හානි සිදුවීම වැනි ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙස අර්ථකථනය කර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි තත්ත්වයක් මෙම පනත් කෙටුම්පත මගින් ඇතිවිය හැකි බවද මදුෂාන් චන්ද්‍රජිත් මහතා පැවසීය.
අදහස් ප්‍රකාශ කිරීම සහ රජයට විරුද්ධව කටයුතු කිරීම අපරාධයක් බවට පත් කිරීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට බලපෑමක් බවද ඔහු සඳහන් කළේය.
පෙර රජයන් මෙන්ම වත්මන් රජයද හදිසි නීතිය දීර්ඝ කරමින් කටයුතු කරන බවට චෝදනා කළ ඔහු, යෝජිත පනත් කෙටුම්පතේ විධිවිධාන මගින් දේශපාලන ක්‍රියාකාරකම් සීමා කිරීමේ අවදානමක් පවතින බව පැවසීය.
වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අවශ්‍යතා අනුව කටයුතු කරන බවටද ඔහු චෝදනා කළේය. යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව එක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව මදුෂාන් චන්ද්‍රජිත් මහතා වැඩිදුරටත් පැවසීය.