තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අද සිට

Central Bank of Sri Lanka Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Jul 14, 2025 03:57 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි, තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (14) සිට ආරම්භ කරයි.

මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

රට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවල ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින බැවින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

"අද වන විට පිරමීඩ යෝජනා ක්‍රමවල ව්‍යාප්තියේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා. මේ සඳහා ප්‍රධාන හේතුව බොහෝ දෙනෙකුගේ නොදැනුවත්භාවයයි. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදා මුලස්ථාන, සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල සහයෝගය ඇතිව, මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා පිරමීඩ යෝජනා ක්‍රම මැඩපැවැත්වීම සඳහා දැනුවත් කිරීමේ සතියක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මෙම වැඩසටහන්වලට සම්බන්ධ වී පිරමීඩ යෝජනා ක්‍රමවල අනිසි ප්‍රතිඵල ගැන දැනුවත් වෙන්න. එසේම, අනෙකුත් පුද්ගලයින් මෙම යෝජනා ක්‍රමවලින් ආරක්ෂා කිරීමට දැනුවත් කරන්න. ඒ හා සමානව, වගා ආයෝජන, ක්‍රිප්ටෝ ආයතන, සහ අධ්‍යාපන ව්‍යාපෘති වැනි අනවසර තැන්පතු භාරගන්නා ආයතනවල වර්ධනයක් ද මේ දිනවල දක්නට ලැබෙනවා.

රටක් ලෙස පිරමීඩ යෝජනා ක්‍රම මෙන්ම විවිධ ආයෝජන මුවාවෙන් අනවසර තැන්පතු භාරගන්නා ජාවාරම්කරුවන් මුළුමනින් තුරන් කිරීමට ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා."

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් පවතින නීති තවදුරටත් ශක්තිමත් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.