ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උණුසුම් වෙයි - පරිපාලනයේ වෙනසක්..?

Roshan Ranasinghe Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Nov 04, 2023 07:56 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට වත්මන් ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කරමින් පාර්ශ්ව කිහිපයක් සත්‍යග්‍රහයක නිරත වී තිබේ.

එනම්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ට සහ තේරීම් කමිටුවට දැඩි දෝෂාරෝපන එල්ල විය.

මේ අතර, අද (4)උදෑසන පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපස විරෝධතාවයක් ආරම්භ කරනු ලැබීය. අනතුරු ව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවේ නිරත වූවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරීශ්‍රයේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණි. මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වශයෙන් කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා සිය අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ලබා දීමට තීරණය කර තිබේ.

මේ අතර, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බවයි.

පෙරේදා (02) ඉන්දියාව සමග වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302කින් පරාජය වූ අතර ලංකා කණ්ඩායම සිය ඉනිම සඳහා ලකුණු 55කට දැවී ගියේය.

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන එය ලෙස වාර්තා පොතට එක්විය.