පුත්තලම කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත කිරීමට පියවර
පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍රවලට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අත්සන් තැබීමට නියමිතව තිබේ.
පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහනට සමගාමීව මෙම පියවර ගෙන ඇත. 2025 වසරේ ජගත් කඩොලාන දිනයට සමගාමීව පසුගිය වසරේ ජූලි 26 වන දින පුත්තලම පාලවිය, කරඹ ප්‍රදේශයේදී මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙනි.
2026 ජූලි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික වැඩසටහන 2026 ජූලි 27 වන දින පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. එහිදී “වනස්පති” ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍රවලට අමාත්‍යවරයා අත්සන් කිරීමට නියමිතය.
මෙරට වනාන්තර පද්ධති අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීමේ ජාතික වැඩපිළිවෙළේ තවත් පියවරක් ලෙස කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන යටතේ හඳුනාගත් කඩොලාන රක්ෂිත 08 මෙසේය.
1. තිල්ලිඅඩිය කඩොලාන රක්ෂිත වනය
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම වනාන්තරය හෙක්ටයාර් 13.06ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර අන්තර් උදම් කලාපයේ පිහිටි සංවේදී පරිසර පද්ධතියකි.
2. සම්මට්ටවාඩිය කඩොලාන රක්ෂිත වනය
හෙක්ටයාර් 10.91ක භූමි ප්‍රමාණයක පැතිර ඇති මෙම පරිසර පද්ධතිය ජෛව විවිධත්වයෙන් ඉහළ කලාපයක් වන අතර කාබන් තිර කිරීමේ වැදගත් හැකියාවක්ද පවතී.
3. මුතලප්පාලි කඩොලාන රක්ෂිත වනය
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 22.74ක භූමි ප්‍රමාණයකින් යුත් කඩොලාන වනාන්තරයකි.
4. කුඩාව කඩොලාන රක්ෂිත වනය
හෙක්ටයාර් 4.43ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම වනාන්තරය ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත සංවේදී පරිසර පද්ධතියකි.
5. කුඹුටු කුලියාව කඩොලාන රක්ෂිත වනය
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම වනාන්තරය හෙක්ටයාර් 4.47ක භූමි ප්‍රමාණයක පැතිර පවතී.
6. කරඹේ කඩොලාන රක්ෂිත වනය
කල්පිටිය සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මෙම කඩොලාන වනාන්තරය හෙක්ටයාර් 76.82ක විශාලත්වයකින් යුක්තය.
7. කන්දකුලිය කඩොලාන රක්ෂිත වනය
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම වනාන්තරය හෙක්ටයාර් 17.47ක භූමි ප්‍රමාණයකින් සමන්විත වේ.
8. මණ්ඩල කුඩාව කඩොලාන රක්ෂිත වනය
හෙක්ටයාර් 12.82ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම කඩොලාන වනාන්තරයද රක්ෂිතයක් ලෙස නම් කිරීමට නියමිතය.
“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත අඩවි වන කාර්යාලයට අයත් මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල A, B, C, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර් 67කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් රක්ෂිත ලෙස නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 12,500ක් පමණ වන අතර, එහි විශාල ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය හා කලපු ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්තව පවතී.
කඩොලාන පරිසර පද්ධති මගින් ලබාදෙන පාරිසරික, ආර්ථික සහ සමාජීය සේවාවන් සැලකිල්ලට ගනිමින් ඒවා සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන 2015 වසරේ පැවති UNESCO සමුළුවකදී සෑම වසරකම ජූලි 26 වන දින ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම දිනය සැමරීමේ අරමුණ වන්නේ කඩොලාන පරිසර පද්ධතිවල වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඒවායේ තිරසර කළමනාකරණය, සංරක්ෂණය හා නිසි භාවිතය සඳහා විසඳුම් සෙවීමට අවධානය යොමු කිරීමයි.
2026 ජූලි 27 වන දින පැවැත්වෙන ජාතික වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන්, විද්වතුන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.