මැතිවරණවලදී කාන්තාවන්ට 33%ක බලයක්
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 33ක් දක්වා ඉහළ නැංවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබේ.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පළාත් සභා මැතිවරණ ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනා සකස් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීය.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් ද සහභාගී වූහ.
එහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපතිනිය සඳහන් කර ඇත්තේ, නව මැතිවරණ ක්‍රමවේදය සකස් කිරීමේදී කාන්තා නියෝජනය සියයට 33ක් දක්වා ඉහළ නැංවීමේ ප්‍රතිපත්තිමය තීරණය සැලකිල්ලට ගත යුතු බවයි.
නව මැතිවරණ ක්‍රමය තුළ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීමේදී මතුවිය හැකි නීතිමය සහ ප්‍රායෝගික ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද සඳහන් වේ.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාව මඟින් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය සහ මැතිවරණ ප්‍රතිඵල නොවෙනස්ව පවත්වාගෙන යමින් කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව ද කාරක සභාව දැනුවත් කර ඇත.
මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි කාරක සභා රැස්වීමකදී නැවත සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.