ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මහාචාර්ය නිෂාන් කනගරාජාට බ්‍රිතාන්‍යයේ ‘නයිට්’ ගෞරව නාමය
බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මහාචාර්ය නිෂාන් කනගරාජා මහතාට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සුවිශේෂී සේවය ඇගයීමට ලක් කරමින් බ්‍රිතාන්‍යයේ කීර්තිමත් ‘නයිට්’ (Knighthood) ගෞරව නාමය පිරිනමා තිබේ.
වින්ඩ්සර් මාලිගයේ පැවති නිල සම්මාන ප්‍රදානෝත්සවයේදී බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අතින් මෙම ගෞරවය හිමි වූ අතර, ඒ සමඟ ඔහුට සිය නාමයට පෙර "ශ්‍රීමත්" (Sir) යන ගෞරව නාමය භාවිත කිරීමේ අයිතිය ද හිමිවිය.
1966 වසරේ යාපනයේ උපත ලැබූ මහාචාර්ය කනගරාජා මහතා යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තු විද්‍යාලයට ඇතුළත් වූ ඔහු 1989දී ඉලෙක්ට්‍රොනික හා තොරතුරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියත්, 1993දී ඩිජිටල් සංඥා සැකසීම පිළිබඳ ආචාර්ය උපාධියත් ලබා ගත්තේය.
ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ සුළුතර ජන වර්ගයකින් උපකුලපති ධුරයට පත්වූ පළමු පුද්ගලයා වීමද මහාචාර්ය නිෂාන් කනගරාජා මහතාගේ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.