මව සමඟ තිබුණ ආරවුලට, විදුහල්පති සිසුන් තිදෙනා පාසලෙන් එළියට දාලා

Ministry of Education Anuradhapura Sri Lanka
By Sewvandhi Oct 12, 2022 06:04 PM GMT
Report

පාසලක විදුහල්පතිවරයෙක් මවක් සමග ඇති කරගත් ආරවුලකින් අනතුරුව අදාළ විදුහල්පතිවරයා විසින් එම මවගේ දරු තිදෙනාව පාසලෙන් එළියට දැමීමේ සිද්ධියකට විරෝධය දක්වමින් දෙමවුපියන් පිරිසක් ඊයේ (11දා) අනුරාධපුර ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ.

එම දරුවන් උදෑසන ආහාර ගනිමින් සිටියදී අදාළ විදුහල්පතිවරයා තමන් ඉදිපිටදීම එම දරුවන්ව පාසලෙන් එළියට දැමූ බවත්, නාම ලේඛනය ගෙන ඔවුන්ගේ නම් කපා දමන ලෙසට ගුරුවරියකට විදුහල්පතිවරයා පැවසූ බවත් එම පාසලේ උදෑසන ආහාරය සකස් කරමින් සිටි දෙමවුපියන් පිරිසක් පැවසුහ.

එම ස්ථානයේ රැස්ව සිටි දෙමවුපියන් පැවසුවේ මීට පෙරත් පාසල් සිසුන් කිහිප දෙනෙකුට මෙම වීදුහල්පතිවරයා අමානුෂික අයුරින් පහරදීම් සිදු කර ඇති බවයි. මෙහිදී අදහස් දැක්වූ පාසලෙන් එළියට දැමූ දරු තිදෙනාගේ මව මෙසේ පැවසුවාය.

"දරුවන්ගේ නැටුමකට අවශ්‍ය කළයක් ලබාගැනීමට විදුහල්පතිවරයාගේ කාර්යාලයට ගිය අවස්ථාවේදී විදුහල්පතිවරයා වෙනත් කාන්තාවක් සිදු කළ ප්‍රකාශයක් අනුව එම කාන්තාවන්ගේ පැත්ත ගෙන විදුහල්පතිවරයා මට පරුෂ වචනයෙන් බැන්නා. වහාම ළමයින් රැගෙන පාසලෙන් පිටවන ලෙසට තර්ජනය කළා. එම අවස්ථාවේදී තවත් දෙමවුපියන් පාසලේ සිටියා. අවුරුදු 10කට ආසන්න කාලයක් මේ විදුහල්පතිවරයා මේ ඉස්කෝලේ, දෙමවුපියන් කිහිප දෙනෙක් ඇරුණහම කිසිම කෙනෙක් මෙම කවිදුහල්පතිවරයාට කැමති නැහැ.”

මේ සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් විමසීමේදී මෙසේ පැවසීය,

ළමයින්ට සෙල්ලම් කිරීමට කළයක් රැගෙන යාමට කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මෙම මව පාසල් භූමියේදී මට පරුෂ වචනයෙන් බැණ වැදුණා. මේ සම්බන්ධයෙන්ම පොලීසියේ පැමිණිල්ලක් සිදු කළා. ඒ අය හොඳ අය නෙවෙයි. ඔය වීරෝධතා දක්වන්නේ එකම පවුලක මුණුපුරන්, දෙමවුපියන් සහ ආච්චිලා සීයලා පිරික්. මට කිසිම ඕන කමක් නෑ මේ පාසලේ බලහත්කාරයෙන් රැදී සිටින්න, මාරුවක් ආවොත් හෙට වුණත් මම යන්න සූදානම්."

මෙම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ගැටලුවක් ඇත්නම් පොලීසියට සහ කලාප කාර්යාලයට ගොස් පැමිණිල්ලක් සිදුකරන ලෙස කරුණු පහදා දුන්හ. ඉන්පසු සිද්ධියට සම්බන්ධ මව දරු තිදෙනා සමග ගොස් පොලීසියේ පැමිණිල්ලක් සිදු කළ අතර, රැස්ව සිටි දෙමවුපියන්ගේ අත්සන් සහිතව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට ලිපියක්ද භාර දුන්හ.(උපුටා ගැනීමකි)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now