උපරිම මිලට වඩා සහල් අලෙවි කරන වෙළෙන්දන් පිළිබඳ පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්..
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින්, රජය විසින් හඳුන්වා දී ඇති උපරිම සිල්ලර මිලට (MRP) වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙන්දන් සහ තොග ගබඩා කරන වෙළෙඳුන් පිළිබඳව මහජනතාවට දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැක.
මේ අතර එවැනි වෙළෙන්දන් සොයා අධිකාරිය වැටලීම් ආරම්භ කර තිබේ. රජය විසින් සහල් සඳහා පනවා ඇති මිල පාලනයට අනුව රතු හෝ සුදු නාඩු සහල් රුපියල් 220ට වඩා අලෙවි කළ නොහැකි බව CAA හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙන්වා දුන්නේය.
එමෙන්ම කීරි සම්බා සඳහා උපරිම සිල්ලර මිල රු. 260, සම්බා සහල් රු. 230, සහ රතු හෝ සුදු කැකුළු සහල් රු. 210 කි.
මේ අතර මාසයකට ආසන්න කාලයක් දිවයින පුරා පිහිටි බොහෝ සුපිරි වෙළෙඳසැල් සහ ලංකා සතොස අලෙවිසැල්වලින් කීරි සම්බා අලෙවි කිරීමට නොහැකි වීමත් සමඟ දේශීය වෙළෙඳ පොළේ කීරි සම්බා හිඟයක් ද වාර්තා වේ.