විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන ජනාධිපතිගෙන් නීතීඥ සංගමයට සාකච්ඡාවක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත හෙට පස්වරු 1.00ට සාකච්ඡාවක් ලබාදී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණි.
මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර තිබේ.
එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වාත් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්ථාවරය වී ඇත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන අදාළ ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේදී සිදු නොකළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු පිරිසක් පසුගියදා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව රජීව් අමරසූරිය මහතා සඳහන් කර තිබුණේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස තමන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.