ජනපති හා මහ බැංකු අධිපති අතර විශේෂ හමුවක් - ජනපතිගෙන් විශේෂ සහතිකයක්..!

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi May 28, 2022 12:39 PM GMT
Report

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.

මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධන යන මහත්වරුන් සමග අද (28) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහිදී කෙටි කාලයක් ඇතුළත පැවති මූල්‍ය අර්බුදය පාලනයටත්, යහපත් අතට හැරවීමටත් නන්දලාල් වීරසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා පැසසුමට ලක්කර තිබේ.

ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරමින් ගෙනයන වැඩපිළිවෙල සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත. 

උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනද මෙහිදී ජනාධිපතිවරයාට පැහැදිලි කර තිබේ. දේශපාලන මැදිහත්වීමකින් තොරව එම ක්‍රියාදාමය ඉදිරියටත් කරගෙන යාමට රජය සහාය වන බව ජනාධිපතිවරයා පවසා ඇත.

මේ වනවිට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් සමාජ, ආර්ථික ස්ථාවරභාවය ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළකර තිබේ.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මූල්‍ය මණ්ඩලය ජාත්‍යන්තරව සිදුකරන ක්‍රියාදාමයේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය අවස්ථාවලදී රාජ්‍ය නායක මට්ටමේ මැදිහත්වීමට තමා සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now