පැය 72ක් පුද්ගලයන් රඳවා තබාගන්න සූදානමක්?

Sri Lanka Law and Order Sri Lanka Prevention of Terrorism Act Latest Headlines Sinhala news
By R.rishma Oct 30, 2026 07:16 AM GMT
Report

වෘත්තීය සමිති රැසක නියෝජිතයින් අද (30) විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

එහිදී ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන රාජ්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PSTA) හරහා වෘත්තීය සමිති මර්දනය කිරීමේ උත්සාහයක් පවතින බවට ඔවුන් චෝදනා කර ඇත.

සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා එහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, යෝජිත පනත් දෙක හරහා ජනතාවට ලබාදුන් පොරොන්දු පසෙකලා පුද්ගලයින් පැය 72ක් රඳවා තබා ගැනීමට බලය ලබාගැනීමේ උත්සාහයක් පවතින බවයි.

එමෙන්ම රට තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව ඇති බවත්, විදුලි සැපයුම සම්බන්ධයෙන් ගැටලු පවතින අතර ගෑස් සැපයුම සම්බන්ධයෙන්ද ජනතාවට දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ගෑස් නෞකා පැමිණෙන බවත් ඒවා ගොඩබෑම සිදුවන බවත් ප්‍රකාශ කළද ජනතාව තවදුරටත් පෝලිම්වල සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, අද රාත්‍රියේ හෝ හෙට දිනයේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ අවදානමක් පවතින බවටද ආනන්ද පාලිත මහතා අනතුරු ඇඟවීය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ වාර්තා පළවෙමින් තිබෙන බව සඳහන් කළ ඔහු, ඉන්ධන මිල වැඩි කිරීමෙන් පීඩාවට පත්වන ජනතාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම හෙට දිනයේ ඉන්ධන මිල ඉහළ නැංවීමට ඉඩ නොදෙන ලෙසද ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.