ප්‍රසන්න ගේ රහස් ඡන්දයේ ප්‍රතිඵලය එයි..!

Parliament of Sri Lanka Sri Lanka Prasanna Ranatunga Sri Lankan political crisis
By Sewvandhi Oct 24, 2022 02:48 PM GMT
Report

ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇති අතර එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අතිබහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සමඟ වැඩ කළ යුතු බවයැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 

 මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම ‘අලියාගේ පිටේ’ නැගීමක් නොවන බවත් එලෙස සහය පළ කිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බවත් අමාත්‍යවරයා කීය.

ඉදිරි දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා තමා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ රහස් ඡන්දයක් පැවැත්වූයේ පොහොට්ටුව හැර යාමට නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. හෘදය සාක්ෂියට එකඟව හැමවිටම නිවැරැදි දේශපාලන තීන්දු ගත් තමන් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිලෙන බවත් තමන් පිළිබඳ මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බවත් ප්‍රසන්න රණතුංග මහතා කීය.

විදෙස් සංචාරයකින් පසු දිවයිනට පැමිණ ප්‍රකාශයක් කරමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීය. ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇඳ ඔහු ගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කළ යුතු බව මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ ස්ථාවරය බවද ප්‍රසන්න රණතුංග මහතා කීය.

එය පොහොට්ටුව අතහැර යාමක්ද නොව පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොඳම තීරණය බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ගම්පහ ජනතාව පාවා දීමට සූදානම් නැති අතර තමා කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසය අබමල් රේණුවකින් හෝ බිඳ දැමීමටද සූදානම් නැතැයිද කියන අමාත්‍යවරයා කෙසේ වෙතත් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී නොපැකිලව අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට සුදානම් බවද අවධාරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now