අද දිනයේ (2/19) විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්..!

electricity Norochchole Sapugaskanda Janaka Rathnayake
By Sewvandhi Feb 19, 2022 06:40 AM GMT
Report

අද (19) දිනයේදී විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මේ අතර දැවිතෙල් අවසන්වීම හේතුවෙන් අක්‍රියවී තිබු සපුගස්කන්ද බලාගාරය සඳහා දැවිතෙල් ලැබීම නිසා අද අලුයම එය යළි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකි වී තිබේ.

කෙසේවෙතත් පද්ධතිය ස්ථාවර කරගැනීම වෙනුවෙන් පස්වරු 2 සිට සවස 6 දක්වා විදුලි බිඳවැටීමක් සිදුවිය හැකි බවටද වාර්තා පළ වෙයි.

තාප විදුලි බලාගාර රැසකම ඉන්ධන සංචිත අවසන්වීම හේතුවෙන් ඇතිවු විදුලි හිඟය කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ (18) විදුලි කප්පාදුවකට යාමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබුණි.

ඒ අනුව ඊයේ දහවල් 2.30 සිට පස්වරු 6.30 දක්වා අතර කාලය තුළ A,B,C,D වශයෙන් බෙදන ලද කලාප 4කට පැයක් බැගින් විදුලිය කප්පාදුවක් සිදු කෙරුණි.

එමෙන්ම පස්වරු 6.30 සිට රාත්‍රි 9.30 දක්වා අතර කාලය තුළත් එම කලාප 4ටම විනාඩි 45ක් බැගින් ද විදුලිය විසන්ධි කිරීමට කටයුතු කෙරුණි.

දැවිතෙල් අවසන්වීම හේතුවෙන් අක්‍රිය වී තිබු සපුගස්කන්ද A හා B බලාගාර සඳහා ඊයේ රාත්‍රියේ දැවිතෙල් ලැබී තිබීම නිසා අද අලුයම් කාලයේ එහි මෙගාවොට් 100ක් යළි ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වී තිබේ.

කෙසේවෙතත් තවදුරටත් ඉන්ධන නොමැතිකමින් බලාගාර කිහිපයක්ම අක්‍රිය වී තිබීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 350ක පමණ හිඟයක් පවතී.

කෙසේවෙතත් විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන බැවින් අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now