විදුලි කප්පාදුව ගැන ලංකා විදුලිබල මණ්ඩලයෙන් තීරණයක්..

Udaya Gammanpila power outage CEB kalanithissa
By Sewvandhi Feb 13, 2022 08:02 AM GMT
Report

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරය අද (13) පස්වරුව වනවිට යළි පද්ධතියට එක්කළ හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ  කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය ඊයේ පස්වරුවේ යළි සක්‍රිය කළ බවය.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම බලාගාරය ඊයේ පස්වරු 6 සිට අක්‍රිය වීමත් සමග මෙගාවොට් 270ක විදුලි ධාරිතාවක් ඊයේ (12) රාත්‍රියේ ජාතික පද්ධතියට අහිමි වුණි.

එමෙන්ම මෙගාවොට් 130ක කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරයද ඊයේ පස්වරුවේ අක්‍රිය වුණේ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. ඊයේ රාත්‍රි 7.15 පමණ වනවිට ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2297ක උපරිමයක් දක්වා ඉහළ ගිය බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

එම අවස්ථාව වනවිට යුගදනවි හා සොජිට්ස් බලාගාර අක්‍රියව පැවතීමෙන් මෙගාවොට් 400ක හිඟයක් ජාතික විදුලි පද්ධතියේ මතු වූ අතර ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වීම් සිදුව තිබුණි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය මේ වනවිට යළි සක්‍රිය කර ඇති බවය. මේ අතර, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට පසුගිය පැය විසිහතර තුළ මිලිමීටර 20ත් - 65ත් අතර වර්ෂාපතනයක් ඇඳහැලී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත්වලත්, මාතලේ, නුවරඑළිය, ගාල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර 100ක පමණ තදවැසි අපේක්ෂා කරන බවය.

මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් යළි ඉහළ යාමත් සමග සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කළ ඉල්ලීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ නැංවීමේ අදහසක් දැනට නොමැති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now