වසර 26කට පසු අද දීර්ඝ විදුලි කප්පාදුවක්...කරන්ට් කපන සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙන්න.

Sri Lanka Technology Ceylon electric Bord Power cut places
By Aruna Mar 03, 2022 03:01 AM GMT
Report

අද (3) දිනයේත් දිවයින පුරා පැය 7.30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය 5ක් වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැය දෙක හමාරක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියාසිටියේ.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීම ආරම්භ වුයේ ඊයේ පෙරවරුවේයි.

මෙලෙස දිගු කාල පරාසයක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙන්නේ වසර 26කට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව ඊයේ දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරයෙන් ම අද දිනයේත් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මෙම විදුලි කප්පාදුව අනුව E සහ F ලෙස අලුතින් නම් කර ඇති කලාප දෙකකට පෙරවරු 8 සිට දහවල් 1 දක්වා පැය 5ක් විදුලිය විසන්ධි කර නැවත වරක් සවස 6 සිට රාත්‍රී 8.30 දක්වා තවත් පැය 2.30ක් විදුලිය විසන්ධි කෙරෙනවා.

පෙර පැවති T, U, V, W, P, Q, R, S කලාපවලට ද පෙරවරු 8.30 සිට රාත්‍රී 11 දක්වා වාර දෙකකදී පැය 7යි විනාඩි 30ක් විදුලි සැපයුම අත්හිටවනු ඇති.

මේ අතර, මෙරටට පැමිණ තිබූ ඩීසල් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගත් නෞකාවට ඊයේ දිනයේ මුදල් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල ප්‍රකාශ කළා.

ඒ අනුව, එහි අඩංගු ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද රාත්‍රීයේ ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

මෙම ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලි උත්පාදනය සඳහා ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, හෙට දිනයේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,300ක් රැගත් නෞකාවක් මෙරටට ළගාවීමට නියමිතයි.

ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් එම නෞකාවේ අඩංගු වන අතර, ඒ සඳහා ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවීමට ද මහබැංකුව ඊයේ බලශක්ති අමාත්‍යාංශයට එකඟතාව පළ කර තිබෙනවා.

විදුලි කප්පාදුව හේතුවෙන් ජන ජීවිතයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ අතර විදුලි අර්බුදය විසඳීමට වහාම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට සහතික වී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, මහබැංකුව මැදිහත් කර ගනිමන් අවශ්‍ය ඉන්ධන තොග වහාම ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ද ආරම්භ කර ඇති බවයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම පවතින බොහෝ ප්‍රදේශවලදී දැකගත හැකිවුණා.

ඉන්ධන හිඟයත් සමඟ ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසළ තවමත් නොසන්සුන්කාරී තත්ත්වයන් ද වාර්තා වනවා.

ඉන්ධන පිරවුම්හල් අසල සාමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි පොලිස්පතිවරයා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන්නේ මේ අතරතුරයි.

පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ ගොවි අවශ්‍යතා, කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා උපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන කෑන් හෝ බූලි මගින් ලබාගැනීමට පැමිණෙන ජනතාව වෙත බාධාවකින් තොරව ඉන්ධන ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම සංචාරකයින් ප්‍රවාහන කටයුතු, ගිලන්රථ, ගිනි නිවීමේ රථ සඳහා ප්‍රමඛතාව ලබාදී ඉන්ධන ලබාදීමට සුදුසු පියවර ගන්නා ලෙසයි පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

පවතින ඉන්ධන හිඟයෙන් පොදු ප්‍රවාහන සේවාවලට එල්ල වී ඇති බලපෑම තවදුරටත් ඔඩුදුවා ඇති අතර බස් සංගම් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බොහෝ බස් රථ ධාවනයෙන් ඉවත් කර ඇති බවයි.

මේ අතර පාසල් නිවාඩුව අවසන් වී මීළඟ පාසල් වාරය ආරම්භයත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහන සේවාවලටද ඉන්ධන හිඟය බලපෑම් එල්ල කරනු ඇතැයි එම සේවාවල නිරත පිරිස් පවසනවා.

ඉන්ධන හිඟය හේතුවෙන් තමන්ද අපහසුතාවට පත්ව ඇතැයි යතුරුපැදි මඟින් ආහාර බෙදාහරින්නන් පවසනවා.

අද විදුලිය කප්පාදු කරන සියලු ප්‍රදේශ සහ වෙලාවන් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery