අද විදුලිය කපයි ද? අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka Power cut Electric Bord Ceylon electric Bord
By Aruna Jan 16, 2022 01:56 AM GMT
Report

අද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයව පැවතියත් ජනවාරි 22 වෙනිදා දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට හැකිවෙතැයි විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මීට පෙර කියා සිටියා.

අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරුවන්ද විදුලිය කප්පාදු කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වන බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම, දැවි තෙල් නොමැතිවීමෙන් කැළණිතිස්ස බලාගාරයේ සහ කුකුලේ ගඟ ව්‍යාපෟතියේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම මෙන්ම විදුලි බල මණ්ඩලය සතු දැවි තෙල් සහ ඩීසල් සංචිත හිඟ වීම ආදී කරුණු හේතුවෙන් පසුගිය දිනවල විදුලි කප්පාදුවක් සිදු වුණා.

කැළණිතිස්ස සහ කුකුළේ ගඟ බලාගාර වල ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත් වුවද නැවතත් පැයක විදුලි කප්පාදුවක් දිවයිනේ ප්‍රදේශ රැසක සිදුකළේ කැළණිතිස්ස බලාගාරයේ පුද්ගලික විදුලි බලාගාරයක ඇති ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන්.

නොරොච්චෝලේ බලාගාරයේ මතුව ඇති දෝෂය හැර අනෙකුත් බලාගාර වල තත්ත්වය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර ඊයේ දිනයේදී විදුලි කප්පාදුවක් සිදුවූයේ නැහැ.

කෙසේවෙතත්, විදුලි බල මණ්ඩලය සතු දැවිතෙල් සහ ඩීසල් සංචිත ක්‍රමයෙන් අවසන් වෙමින් පවතින අතර ඛනිජ තෙල් සංස්ථාව තව දුරටත් ණය පදනම මත තෙල් ලබා දීමට එකඟතාව පළ කර නැහැ.

ඒ අනුව නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් වෙන තෙක් ඕනෑම අවස්ථාවක විදුලිය බිඳවැටීමක් සිදුවිය හැකි බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

මේ අතර, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම මේ වනවිට සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බවට වාර්තා වනවා.

එම ජලාශ වලින් වගා කටයුතු සහ පානීය ජලය සඳහාද ජලය නිකුත් කෙරෙන බැවින් ඒවායෙහි මුළු ජල ධාරිතාවම විදුලිබලාගාර සඳහා ලබා දීමටද හැකියාවක් නොමැති බවටයි වාර්තා වන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now