දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක්.

Sri Lanka Power cut Ceylon electric Bord
By Aruna Jan 13, 2022 11:26 AM GMT
Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේවන විට හදිසි විදුලි බිඳවැටීමක් සිදුව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන්ධන අර්බුදය හමුවේ විදුලි බලාගාර කිහිපයක ජනන යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් මෙම තත්වය මතුවී ඇති බවයි.

එම තත්වය මත ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව යම් තරමකට අඩාල වී ඇති බවයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයව පැවතියත් ජනවාරි 22 වෙනිදා දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට හැකිවෙතැයි විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියා. අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් විදුලි

ඉංජිනේරුවන්ද විදුලිය කප්පාදු කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වන බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම, දැවි තෙල් නොමැතිවීමෙන් කැළණිතිස්ස බලාගාරයේ සහ කුකුලේ ගඟ ව්‍යාපෟතියේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම මෙන්ම විදුලි බල මණ්ඩලය සතු දැවි තෙල් සහ ඩීසල් සංචිත හිඟ වීම ආදී කරුණු හේතුවෙන් පසුගිය දිනවල විදුලි කප්පාදුවක් සිදු වුණා.

කැළණිතිස්ස සහ කුකුළේ ගඟ බලාගාර වල ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත් වුවද නැවතත් පැයක විදුලි කප්පාදුවක් දිවයිනේ ප්‍රදේශ රැසක සිදුකළේ කැළණිතිස්ස බලාගාරයේ පුද්ගලික විදුලි බලාගාරයක ඇති ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන්.

නොරොච්චෝලේ බලාගාරයේ මතුව ඇති දෝෂය හැර අනෙකුත් බලාගාර වල තත්ත්වය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර ඊයේ දිනයේදී විදුලි කප්පාදුවක් සිදුවූයේ නැහැ.

කෙසේවෙතත්, විදුලි බල මණ්ඩලය සතු දැවිතෙල් සහ ඩීසල් සංචිත ක්‍රමයෙන් අවසන් වෙමින් පවතින අතර ඛනිජ තෙල් සංස්ථාව තව දුරටත් ණය පදනම මත තෙල් ලබා දීමට එකඟතාව පළ කර නැහැ.

ඒ අනුව නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් වෙන තෙක් ඕනෑම අවස්ථාවක විදුලිය බිඳවැටීමක් සිදුවිය හැකි බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

මේ අතර, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම මේ වනවිට සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බවට වාර්තා වනවා.

එම ජලාශ වලින් වගා කටයුතු සහ පානීය ජලය සඳහාද ජලය නිකුත් කෙරෙන බැවින් ඒවායෙහි මුළු ජල ධාරිතාවම විදුලිබලාගාර සඳහා ලබා දීමටද හැකියාවක් නොමැති බවටයි වාර්තා වන්නේ.

මේ අතර කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය පෙරේදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව පෙරේදා දිනයේදීද ඔවුන් ප්‍රකාශ කළ නමුත්, ඊයේ රාත්‍රියේ ද ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී තිබුණා.

එහිදී පැයක පමණක කාලයක් විදුලිය ඇණ හිට තිබූ අතර, ඊට හේතු වී තිබුණේ ජාතික පද්ධතියට විදුලිය සැපයෙන කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයක ඇතිවූ දෝෂයක්.

කෙසේ වෙතත්, ඊයේ එලෙස ප්‍රකාශ කළත්, විදුලිබල අමාත්‍යාංශය ඊයේ පෙරවරුවේ පැවසුවේ ඊට පරස්පර අදහසක්.

එම විදුලි කප්පාදුවට හේතුව කලාප වශයෙන් විදුලිය විසන්ධි කිරීම ඊයේ සිට ආරම්භ කිරීම බවයි ඔවුන් එහිදී සඳහන් කළේ.

ඒ අනුව සෑම දිනකම පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැයක කාලයක් කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ පෙරවරුවේ ප්‍රකාශ කළා.

එසේම, විදුලිය කප්පාදු කරන බවට අමාත්‍යාංශය අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද විදුලිබල අමාත්‍ය ගාමීණි ලොකුගේ ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීයව පවතින ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.

එය යළි පද්ධතියට එක් කිරීම සඳහා තවත් දින 10 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.

අක්‍රීයව පවතින ජනන යන්ත්‍රයේ ධාරිතාවයද මෙගාවොට් 300ක්.

මේ අතර, මාවුස්සාකැලේ සිට කැනියොන් ජලාශය දක්වා ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ මෙගාවොට් 75 ක විදුලි උත්පාදනය මේ වනවිට සිදුවන්නේ නැහැ.

මේ හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව දින 05 ක් තිස්සේ විවෘත කර තැබීමෙන් එම ජලාශයේ ජල ධාරිතාව සීග්‍රයෙන් පහත බැස තිබෙනවා.

මේ අතර, මේ දිනවල සිදුකෙරෙන විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මහජන අයිතීන් සුරැකීමේ පදනම මානව හිමිකම් කොමිෂන් සභාවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එසේම, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ යළි සලකා බැලුණු අතර, ඒ සම්බන්ධ වැඩිදුර විභාගය ලබන 19 වැනිදා දක්වා කල් තැබුණා.

ඒ අනුව ලබන 19, 20 සහ 21 යන දිනවල එම සලකා බැලීම සිදුකෙරෙනු ඇති.

එසේම, ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සදහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක යන හිමිවරුන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now