අද විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්.
අද දිවයිනේ කිසිදු ස්ථානයකට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
මේ අතර මේ මාසය අවසානය දක්වා රාත්‍රී කාලයේදි විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසදුම් සෙවීමට කටයුතු කළ යුතු බවි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ.
විදුලි කප්පාදුවක් පිළිබදව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
මෙරට සතු ගල් අගුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් අතර, ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යාමෙන් වැළකිය හැකි බවටයි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත්, මේ මාසය අවසානය දක්වා රාත්‍රී කාලයේදි විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවයි සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග ප්‍රකාශ කළේ.
මේ අතර, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් පිළිබද වැඩිදුර කරුණු සලකා බැලීම හෙට තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළා.
එම පෙත්සම් වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු ඉදිරිපත් කළ බවයි අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
එසේම යුගදනවි කොටස් මිලදී ගත් නිව් ෆෝට්‍රස් එනර්ජී නැමති අමරිකානු සමාගම සම්බන්ධයෙන් ද බරපතල ගැටලු රාශියක් මතුව ඇති බව පෙන්වා දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සමාගම නිව්යෝර්ක් කොටස් වෙළදපොලේ ලියාපදිංචි සමාගමක් ලෙස එහි ලේඛනවල දක්වා තිබුන ද එය අසත්‍යයක් බවයි.
කෙසේ වෙතත්, පෙත්සම් වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ අදාල ගිවිසුම නීත්‍යානුකූල අයුරින් සිදුකර ඇති බවයි.
පෙත්සම් පිළිබදව වැඩිදුර කරුණු සලකා බැලීම අනිද්දා තෙක් කල්තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |