සහල්, රෙදිපිළි,වාහන කොටස් ඇතුළු බහාලුම් 88ක් ගැන ගත් හදිසි තීරණය...

Sri Lanka
By Sewvandhi Feb 05, 2023 04:35 PM GMT
Report

වරාය අධිකාරියේ ගුදම් තුළ දිරාපත් වෙමින් තිබෙන භාණ්ඩ ඇතුළු බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් ලබාදී තිබේ. වසර ගණනාවක් තිස්සේ ආනයනය කර රේගුව විසින් රඳවා ගත් රුපියල් බිලියන 05ක් පමණ වටිනා භාණ්ඩ සහ බහාලූ තොගයක් වරාය පර්යන්තයේ හා ගුදම් තුළ සිර වී ඇති බවට වරාය අධිකාරිය පසුගිය දා දැනුම් දී තිබුණි.

එම භාණ්ඩ හා බහාලූ අතර පුවක්, බාස්මතී සහල්, ටයිල්, වාහන, වාහන අමතර කොටස්, රෙදිපිළි, ලිපිද්‍රව්‍ය, මත්පැන් හා එතනෝල් ද වන බව වාර්ථා වේ. එම බහාලු හේතුවෙන් වරාය අධිකාරියට මූල්‍ය වශයෙන් විශාල පාඩුවක් හා පර්යන්තවල ඉඩ ඇහිරීම හේතුවෙන් විශාල පරිපාලනමය ගැටලුවකට මුහුණ දී ඇති බව වරාය අධිකාරියේ නිලධාරීන් පෙන්වා දී තිබේ. 

 රේගු ආඥා පනතට අනුව කටයුතු කිරීමේදී මෙවැනි ප්‍රමාදයන් සිදුවන බව රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇති අතර යල් පැන ගිය රේගු ආඥා පනත සංශෝධනය කර කාර්යක්ෂම නිශ්කාෂන ක්‍රියාවලියක් සඳහා ක්‍රියා කළ යුතු බව නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව වරාය අධිකාරියට ගුදම් ගාස්තු වශයෙන් රේගුව උපයාගත් මුදලින් අය කර ගැනීමට නීතීයෙන් ඉඩකඩ නොමැති බැවින් අදාළ භාණ්ඩ ඇතුළු බහාලු 88 සතියක් ඇතුළත ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now