පොලිස් නිලධාරින්ගේ බටා එකට ටටා කියූ මහා භාණ්ඩාගාරය.?

Sri Lanka Police Tiran Alles Ministry of Finance Sri Lanka
By Wayomi Feb 09, 2024 05:45 AM GMT
Report

පොලිස් නිලධාරින්ගේ ආහාර හා නවාතැන් දීමනා සහිතව සංයුක්ත දීමනා ලබාදීම අඩාල වී තිබෙනවා.

ඒ, ඊට මුදල් අමාත්‍යාංශය මුදල් වෙන් නොකිරීම හේතුවෙන්.

මේ අනුව හෙට (10) අසූදහසකට ආසන්න පොලිස් නිලධාරින් වෙනුවෙන් ගෙවිය යුතු එම දීමනා ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරින් සඳහා හිමි නොවූ ආහාර හා නවාතැන් දීමනා මේ වසරේ ජනවාරි මාසයේ සිට ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබුනා.

ඒ සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිට පොලිස්පති දක්වාත්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වාත්, පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට පොලිස් සැරයන් දක්වාත් නිලයන් වෙන්කරමින් සකස් කරන ලද කාණ්ඩ තුනකට යටත්වයි.

එහිදී සහකාර පොලිස් අධිකාරි සිට පොලිස්පති දක්වා තනතුරු දරන නිලධාරින් හට ආහාර හා නවාතැන් සඳහා රුපියල් තිස් හතර දහස් අටසියයක දීමනාවක්ද පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරින් සඳහා රුපියල් තිස් එක්දහස් දෙසීයක දීමනාවක්ද කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරින් සඳහා රුපියල් විසිඅට දහස් අටසියයක දීමනාවක්ද ගෙවීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ මූලිකත්වය මත මේ වෙනුවෙන් වැඩකටයුතු සිදුවූ අතර මේ සඳහා අමාත්‍යාංශයට වෙනි වූ ප්‍රතිපාදනවලින් බිලියන 19 ක් සහ මහා භාණ්ඩාගාරයෙන් බිලියන 07 ක මුදලක් ඉල්ලා තිබූ අතර මහා භාණ්ඩාගාරය මේ මොහොතේදී මුදල් වෙන්කළ නොහැකි බව දැනුම් ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ, සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ පොලිස් ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පෙරේදා සිදුව තිබෙන අතර එහිදී අවධාරණය වී ඇත්තේ මහා භාණ්ඩාගාරය මුදල් වෙන්කිරීම් මාස හයක කාලයක් හෝ ප්‍රමාද විය හැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිසියේ ඉන්ධන, විදුලි, ජල, සංග්‍රහ ඇතුළු වියදම් සියල්ලම අවම කරගැනීමටත් පෙර ගෙවූ ආකාරයටම සංයුක්ත දීමනා ගෙවීම් කරන ලෙසත් උපදෙස් දී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක විමසුමකදී කියා සිටියේ,මහා භාණ්ඩාගාරය මුදල් වෙන් කිරීම් ප්‍රමාදවීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති ලේකම් කාර්යාලය සමගින්ද මේ ගැන සාකච්ඡා කළ බවත් ජනාධිපති කාර්යාලයද කඩිනමින් මෙම මුදල් වෙන්කර දීමට මැදිහත් වී ඇති බවත්ය.