පොලිස්පතිට නොතීසි..!
අභියාචනාධිකරණය විසින්, පසුගිය වසරේ මැයි මස 09 වන දා ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකෙරුණු පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.
මෙහිදී අදාළ පෙත්සම මඟින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේදී ඊට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගකිවයුතු යැයි පෙනී යන හෙයින්ම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව සැප්තැම්බර් මස 27 වනදා මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් අරගල ක්‍රියාකාරිකයෙකු වන ජනත්.එස්. විතාරණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් වසරේ මැයි මස නව වන දා ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසමත් වූ බවය.
මෙම සිද්ධීන් පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඊට වගකිව යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශයක් නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරු ප්‍රකාශ කර සිටී.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේ දී පොලිස්පතිවරයා ඇතුළු මෙම සිද්ධියට වගකිවයුතු සියලු පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් වන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් අයැද සිටී
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස්පතිවරයා ඇතුළු ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුර අයැද තිබේ.