ගේමි 26ක් ගහපු 25 හැවිරිදි උපාධිධාරියෙක් මාට්ටුවෙයි..

Sri Lanka Police Sri Lanka
By Aruna Nov 18, 2022 05:06 AM GMT
Report

අමෙරිකාවේ පරිගණක මෘදුකාංග ඉන්ජිනේරු උපාධිධාරියෙකු වන 25 හැවිරිදි පුද්ගලයකු සොරකම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාරාහේන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිගෑම් 800ක් පොලිසිය භාරයට ගෙන ඇත.

කොල්ලකෑම් 25ක් සහ සොරකම් 6ක් සිදුකර රුපියල් කෝටියක පමණ දේපළ කොල්ලකා ඇති සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 30ක පමණ වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හා රන්මාල කිහිපයක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

මහ මග නවතා තිබෙන යතුරුපැදි සොරා ගෙන කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සැරිසරමින් මහමග තනිව ම යන කාන්තාවන් සතුව තිබෙන අත්බෑග් කොල්ලකෑම මෙම සැකකරු කාලයක සිට සිදු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සැකකරු එම අත් බෑග්වල තිබෙන මුදල්වලට අමතරව ජංගම දුරකතන සහ රන් භාණ්ඩ මෙන් ම ඒ.ටී.එම්. කාඩ්පත් ලබා ගෙන ඔහු ලබා තිබෙන පරිගණක දැනුම ද උපයෝගි කරගෙන එහි මුදල් ද ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි.

පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලබා ඇති සැකකරු ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කිරීමටත්, ලිවීමටත් දක්ෂතාවක් දක්වන්නෙකු බව පොලිසිය කියයි.

සැකකරු මහරගම, දෙපානම ප්‍රදේශයේදී නීතිඥවරියකගේ අත්බෑගය කොල්ල කා එහි තිබූ වටිනා ජංගම දුරකතනය ද ලබාගෙන ඒ.ටී.එම්. කාඩ් පතේ ද මුදල් සියල්ල ලබාගෙන තිබූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

නාරාහේන්පිට, වැල්ලම්පිටිය, මහරගම, කොහුවල, මිරිහාන, පිළියන්දල සහ මාලබේ, වැලිකඩ ආදී පොලිස් වසම්වලදී කොල්ලකෑම් සහ යතුරුපැදි සොරා ගැනීම් සිදුකර තිබූ බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගන්නා ආකාරයෙන් වෙළෙඳසල් ඉදිරිපිට නවතා තිබෙන යතුරුපැදි අසල මඳ වේලාවක් රැඳී සිට එහි හිමිකරු ළඟ පාතක නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව යතුරුපැදි රැගෙන යාම කර තිබූ බව ත් පොලිසිය කියයි.

ඒ ආකාරයෙන් යතුරුපැදි හයක් වරින්වර සොරකම් කර කිසියම් කොල්ල කෑමක් සිදු කිරීමෙන් අනතුරුව එම යතුරුපැදිය මහමග දමා වෙනත් යතුරුපැදියක් සොරාගෙන පළා යාම සැකකරු පුරුද්දක් ලෙස සිදු කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු මිතුරන් මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිව සිටින්නෙක් බව පොලිසිය කියයි.

සැකකරු මහරගම, පන්නිපිටිය, සෙත්සිරි පෙදෙස පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආර්.එල්.ආර්. මධුරංග, උපපොලිස් පරීක්ෂකවරුන් වන එච්.ජී.එස්. ප්‍රියමන්ත, ඩී.සී. බණ්ඩාර, පොලිස් සැරයන් උපුල් (57241), බණ්ඩාර (51237) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (73011), ජනිත් (74400), වික්‍රමනායක (84333), ලසන්ත (88139), චතුරංග (91691), චතුරංග (11509), උදයන් (3122), මධුමාල් (1117) පරීක්ෂණවලට සහාය වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now