පොලීසිය සමග පොරබැදූ තරුණයෙක් තිස්සමහාරාමයේදී වෙඩිකයි..
තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන පුවතක් වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ, මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බවයි.
ඊයේ රාත්‍රී 12ත් 1.00ත් අතර තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ සූදුපොළක් වැටලීම සඳහා තිදෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙන බවයි පවසෙන්නේ.
පොලීසිය එහි ළඟාවීමත් සමඟ එම සූදුපොළේ සිටි පිරිස් පළාගොස් ඇති බව ද පොලීසිය පවසයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් සැරයන්වරයෙකු සහ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
එහිදී ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.