පහළොස් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක් බසයක් උස්සලා...

Sri Lanka Police Sri Lanka
By krishani Jun 18, 2022 06:30 AM GMT
Report
Courtesy: Lankadeepa

හෝමාගම - ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් සොරා ගත් බව කියන මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු සිද්ධියෙන් මිනිත්තු තිහක් ඇතුළත සොරාගත් බස් රථය ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

හෝමාගම - පිටකොටුව බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බසයකට ඉන්ධන ලබා ගැනීමට ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පෝලිමේ නවතා තිබියදී එක්වරම බස් රථය පණ ගන්වා කිසියම් පුද්ගලයකු රැගෙන පලා යන අයුරු ඉන්ධන පෝලිමේ රැඳී සිටි වෙනත් රියදුරකු දැක ඇත.

ඒ බව එම බස් රථයේ හිමිකරුට දැනුම් දීමත් සමග ඔහු ක්ෂණයකින් එම ස්ථානයට පැමිණ එහි සිටි පිරිසගෙන් තොරතුරු විමසා බස් රථය සොයා බසය ධාවනය වූ දෙසට ත්‍රිරෝද රථයකින් ගොස් අතරතුර දී සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට හා බස් රථයේ හිමිකරුගේ හිතවතුන්ට දන්වා බස් රථය සෝදිසි කරමින් ගොස් ඇති අතර ඒ සමගම පොලිස් නිලධාරීන් ද බස් රථය ලුහු බදිමින් ගොස් තිබේ.

මේ අතරතුරදී හෝමාගම ප්‍රදේශයේ දන්සලක් පැවති ස්ථානයක බස් රථය නවතා ඇති අතර එම අවස්ථාවේදී බස් රථයේ රියදුරු බාලවයස්කරුවකු බව එහි සිටි පුද්ගලයකු දැක ඔහුගෙන් රියදුරු බලපත්‍රයක් තිබේදැයි විමසා තිබේ.

එම අවස්ථාවේ දී රියදුරු බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වීමත් සමඟ තවත් පුද්ගලයකුගේ මාර්ගයෙන් බස් රථයේ හිමිකරුට ඒ බව දන්වා තිබේ. ඒ අනුව බස් රථයේ හිමිකරු පොලීසියද සමඟ එම ස්ථානයට පැමිණ බස් රථය සහ සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබේ.   


You May Like This Video ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join