ඇසිඩ් ප්‍රහාරයකින් සිය සැමියා ඝාතනය කළ බවට සැකපිට නීතීඥ බිරිඳ අත්අඩංගුවට..
ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක් ය.
පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවට පොලීසිය සැකපළ කරන අතර වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ අත්අඩංගුවට පත්ව ඇති අදාළ කාන්තාව නීතිඥවරියක් බවටයි.
අත්අඩංගුවට ගත් කාන්තාව 38 හැවිරිදි වියේ පසුවන අතර එම පිරිස අතර ඇයගේ 64 හැවිරිදි වියේ පසුවන බාප්පා සහ 36 හැවිරිදි වියේ පසුවන සහෝදරයාද සිටී.
මියගිය පුද්ගලයාගේ නැගණිය විසින් ඔවුන්ට විරුද්ධව මෙම ඝාතන චෝදනාව එල්ලකර තිබෙන අතර සැකකාර නීතිඥවරිය ප්‍රකාශ කර ඇත්තේ සිය සැමියා විසින්ම ඔහුගේ සිරුරට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකරගත් බවය.
ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.