බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයකට ජනපති අනුරට අගමැති තාරික් රහ්මාන්ගෙන් ආරාධනයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙසට, එරට අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කර තිබේ. එම නිල ආරාධනය, බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා විසින් අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දේශපාලන, ව්‍යාපාරික, සංස්කෘතික සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සහ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ඇතුළු සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ඉහළ පැහැදීමකින් පසුවන බවත්, එම වැඩපිළිවෙළෙහි ආදර්ශය බංග්ලාදේශයටද වැදගත් වනු ඇති බවත් බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.
දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු කර ගනිමින්, ඇඟලුම්, සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කර, දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසු බව එම නිවේදනයේ සඳහන් වේ.
අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ සහයෝගිතාව මත පදනම්ව ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී විශ්වාසය පළ කළ බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නියුතු දේශීය සමාගම්වලට, බංග්ලාදේශයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ ප්‍රවර්ධනයට දායක වීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.