පිරමීඩ ගණුදෙනු වලට හසු වූ ප්‍රභලයන් පිරිසක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Businessman
By Aruna Aug 27, 2023 03:19 AM GMT
Report

නීති විරෝධී මූල්‍ය ආයතන, පිරමීඩ යෝජනා ක්‍රමවල රජයේ නිලධාරින් විශාල පිරිසක් රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසනවා.

එලෙස මුදල් ආයෝජනය කර තිබෙන පුද්ගලයන් අතර පොලිස් නිලධාරින් රැසක්ද සිටින බවයි හෙළි වී ඇත්තේ.

එම අනාවරණයේ සඳහන් වී ඇත්තේ, මෙසේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ රාජ්‍ය නිලධාරින් අතර විදුහල්පතිවරුන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, ගණකාධිකාරිවරුන්, අමාත්‍යාංශවල ඉහළ තනතුරු දරන නිලධාරින් ද සිටින බවයි.

එමෙන්ම උපකාරක පන්ති ගුරුවරුන් මෙන්ම ස්වාමීන් වහන්සේලා පිරිසක්ද මේ අතර සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර, නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම වලට ජනතාව පොළඹවන අයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එය නීතිමය වශයෙන් ඇප දිය නොහැකි වරදක් බවත්, වන් පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත්ය.

ඒ, අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම නීත්‍යානුකූල ඒවා බව හුවා දැක්වීම සඳහා විවිධ උපක්‍රම යොදමින් ඇති බව නිරීක්ෂණය වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.