පිල්ලයාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Pillayan Sivanesathurai Santhirakanthan Law and Order Latest Headlines Sinhala news
By R.rishma Jul 24, 2026 08:01 AM GMT
Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ, සැකකරු අද (24) අධිකරණයට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මිනීමැරුම් සිද්ධීන් පහකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලයාන් ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ අනුව, මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ගොනු කර ඇති චෝදනා තුනක් සහ අදාළ නඩුවට සම්බන්ධ තවත් චෝදනාවක් සම්බන්ධයෙන් අද අධිකරණයේ කරුණු සලකා බැලීම සිදු විය.

එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති චෝදනා අතර, 2008 වසරේදී මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේ මැයි 22 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ අගෝස්තු 20 වැනිදා වවුනියාව ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ චෝදනා ඇතුළත් වේ.