බස් රථයක් හා මුහුණට මුහුණ ගැටී පාසල් සිසුවාට සිදු වූ බිහිසුණු අනතුර..
පිළියන්දල සුවාරපොල බුද්ධාලෝක මාවත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පාසල් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
තුවාල ලබා ඇත්තේ ගෝනපොළ ඔලබොඩුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. අනතුරින් තුවාල ලද පාසල් සිසුවා මිතුරකුගෙන් යතුරුපැදියක් ඉල්ලාගෙන තවත් මිතුරකුගේ නිවසක් වෙත යමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.
බුද්ධාලෝක මාවතේදී ඉදිරියට පැමිණෙමින් තිබූ බස්රථය දැක යතුරුපැදියේ තිරිංග තද කර ඇති අතර ඒ සමගම යතුරු පැදිය පෙරළී බස්රථය ඉදිරිපසට ඇදී ගොස් එහි සිරවී ඇති අතර බස්රථය සමග යතුරුපැදිය මීටර කිහිපයක් ඉදිරියට ධාවනය වී ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
අනතුරින් පසු සිසුවාගේ හිසට සහ ශරීරයට බරපතළ තුවාල සිදුවී පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර ඇත.
සිසුවාට රියදුරු බලපත්‍රයක් නොමැති අතර රියදුරු පාසලකින් ලබාදුන් පුහුණු බලපත්‍රයක් පමණක් ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් පාසල් බස් රථ රියදුරු පිළියන්දල බටකැත්තර පදිංචිකරුවෙකු වන අතර කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පිළියන්දල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |