පොසොන් දන්සල් දෙන අයට සහ කන අයට PHI දෙන දැඩි නියෝගය

Poson poya day Latest Headlines Public Health Inspector Dansal Sinhala news
By R.rishma Jun 27, 2026 06:38 AM GMT
Report

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් විශාල සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, වෙසක් පොහොයට සාපේක්ෂව මෙවර පොසොන් දන්සල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, වැඩිම දන්සල් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙන් වාර්තා වන බවයි.

දන්සල් සංවිධානය කිරීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය හැකිතාක් අවම කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් උපුල් රෝහණ මහතා, විශේෂයෙන් ප්ලාස්ටික් භාජන සහ පොලිතින් ඇසුරුම්වල උණුසුම් ආහාර හා පාන වර්ග බෙදාහැරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි නිරීක්ෂණ සිදුකරන බව ද ප්‍රකාශ කළේය.

උණුසුම් හෝ සිසිල් ආහාර පොලිතින් බෑග් තුළ ගබඩා කිරීම සෞඛ්‍යයට අවදානම් විය හැකි බැවින්, ආහාර සුරක්ෂිතතා මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස ද ඔහු සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, රට තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බැවින්, භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතින් නිසි ලෙස කළමනාකරණය නොකිරීම මදුරු බෝවීමට හේතු විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන් කෝපි සහ බීම දන්සල්වල භාවිත කරන එක්වරක් භාවිත කළ හැකි කෝප්ප හා භාජන අවිධිමත් ලෙස බැහැර කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ යා හැකි බව සඳහන් කළ උපුල් රෝහණ මහතා, පොසොන් දන්සල් සංවිධායකයින් පරිසර හිතකාමී සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියේය.