පිටකොටුවේ භාණ්ඩ ගැන එළියට ආ අලුත්ම කතාව..

Sri Lanka Businessman
By Sewvandhi Jul 29, 2023 09:44 AM GMT
Report

ඊයේ ‍(28) භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් සොයා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිටකොටුව, 05වන හරස්වීදියේ විශේෂ මෙහෙයුමක් සිදුකළේය.

එහිදී මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් රැසකට නඩු පවරා තිබේ.ඊයේ පස්වරුවේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිටකොටුවේ 05වන හරස්වීදියේ වෙළෙඳසැල්වල භාණ්ඩ මිල ප්‍රදර්ශනය කර නොමැති බවට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කළේය.

එහිදී උපාය දූතයින් යොදාගනිමින් මිල දර්ශනය ප්‍රදර්ශනය නොකර ඇති වෙළඳසැල්වලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කර තිබුණි.

එහිදී අනාවරණ වී තිබුණේ, ඔවුන් විවිධ අවස්ථාවලදී මිල ගණන් වෙනස් කරමින් භාණ්ඩ අලෙවිය සිදුකරන බවය. අනතුරුව එම වෙළෙඳසැල්වලට නඩු පවරනු ලැබූ අතර ඇතැම් වෙළෙඳසැල් සඳහා අවවාද කිරීම් හා දැනුවත් කිරීම සිදුකර තිබේ.

එහිදී අදහස් දැක්වූ පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ වැටලීම් ඒකකය භාර ජ්‍යෙෂ්ඨ වැටලීම් නිලධාරී ඊ.යූ. රන්ජන මහතා පැවසුවේ ඕනෑම වෙළෙඳසැලක මිල ප්‍රදර්ශනය කර නොමැති නම් එම භාණ්ඩ නොමිලේ ලබාදිය හැකි භාණ්ඩ විය හැකි බවට නිගමනය කරන බවය.

ඒ අනුව පාරිභෝගිකයින්ට එවැනි භාණ්ඩ නොමිලේ ගැනීමට හැකියාවක් පවතින බවද මිල ප්‍රදර්ශනය කර ඇති ස්ථානවලින් පමණක් භාණ්ඩ මිලදීගන්නා ලෙසටත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.