සිපෙට්කෝ මිල ඉහළ නැංවීමේ යෝජනාව බලශක්ති ඇමතිට - මිල වැඩි වෙන්නේ මෙහෙමයි..
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම සඳහා වන යෝජනාව යළිත් බලශක්ති අමාත්‍යවරයා වෙත අද ලබාදෙන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ආනයනික පිරිපහදු කළ පෙට්‍රල් හා ඩීසල් මගින් සැලකිය යුතු අලාභයක් සිදුවීම හේතුවෙන් එය පියවා ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවය.
පසුගිය දෙසැම්බර් 20 වනදා මිල වැඩිකිරීමෙන් පසු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මේ වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 177කටත්, ඩීසල් ලීටරයක් රුපියල් 121කටත් අලෙවි කරයි.
කෙසේ වෙතත් සංස්ථාව පවසන්නේ වරායේ සිට ගොඩබෑමෙන් පසු බදු ඇතුළු ගෙවීම් සියල්ල එකතු කළවිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 192ක් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 169ක් විය යුතු බවය.
සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ පිරිපහදු කළ ආනයනික පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15යි ශත 68 ක අලාභයක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 48 යි ශත 30 ක පමණ අලාභයක් සිදුවන බවය.
ඒ අනුව මෙම වියදම් පියවා ගැනීමේ අරමුණින් ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාව යළිත් වරක් අද දිනයේ බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදෙන බව සංස්ථාව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |