ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සමේ තීන්දු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ "ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දැනුම් දී තිබෙනවා.
ඒ, මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ඛනිජ තෙල් සංස්ථා විධායක නිලධාරීන්ගේ සංගමය ඇතුළු තිදෙනකු මෙම පෙත්සම් ගොනු කරනු ලැබුවා.
එම පනත් කෙටුම්පත හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙරටට පෙට්‍රෝලියම් නිෂ්පාදන ගෙන්වා බෙදා හැරීමට තිබු ඒකාධිකාරීය අහෝසි වන බවත් පෞද්ගලික අංශයෙන් සෘජුවම විදේශවලින් මෙරට පෙට්‍රෝලියම් නිෂ්පාදන ගෙන්වීමට බලය ලැබෙන බවත් පෙත්සම්වල දැක්වෙනවා.
පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙන්නේ, මෙම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී බහුතර සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමත කරන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |