සපත්තුවක් වත් නොමැතිව ක්‍රීඩාකළ , ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා මෙලොව හැරයයි - ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ..!(PHOTOS)

Football
By Sewvandhi Dec 30, 2022 08:06 AM GMT
Report

20වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින් විරුදාවලිය ලත්, පාපන්දු ලොවේ පුරාවෘත්තයක් බඳු හිටපු බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක 'පේලේ' අද අළුයම සිය දිවිගමනට සමුදුන්නේය. 

සාඕ පාවුලෝ නුවර පිහිටි ඇල්බර්ට් අයින්ස්ටයින් රෝහලේදී අවසන් හුස්ම හෙළන විට පේලේ 82 හැවිරිදි වියේ පසුවිය. 

 වෛද්‍යවරුන් පවසන්නේ පේලේ, පිළිකා රෝගය හේතුවෙන් මතුවූ බහුවිධ අවයව දුර්වලතාවය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවය.

දිවියෙන් සමුගත් ලොව මෙතෙක් බිහිවූ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස විරුදාවලිය පේලේ වෙනුවෙන් බ්‍රසීලයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

වසර 21ක් පුරා පාපන්දු පිටියේ දක්ෂතා පෙන්වූ මෙම සුපිරි ක්‍රීඩකයා තරග 1,281කදී ගෝල 1,363ක් රැස්කර තිබුණි. එය ලෝක වාර්තාවකි. ඉන් ගෝල 77ක් ම රැස්කර ඇත්තේ බ්‍රසීලය වෙනුවෙනි. ඒ තරග 92කදීය.

බ්‍රසීල කණ්ඩායම නියෝජනය කරමින් 1958, 1962 සහ 1970 වසර වලදී පේලේ පාපන්දු ලෝක ශූරතාවය ජයගෙන තිබේ. එවැනි දක්ෂතාවයක් දක්වා ඇති එකම ක්‍රීඩකයා ඔහුවෙයි. වසර 2000 දී ලෝක පාපන්දු සම්මේලනය ඔහු සියවසේ ක්‍රීඩකයා ලෙස නම් කළේය.

1940 වසරේ ඔක්තෝබර් 23වැනිදා බ්‍රසීලයේ ට්‍රේස් කොරේකෝස් ගම්මානයේදී උපත ලැබූ පේලේට ඔහුගේ දෙමාපියන් විසින් ලබාදුන් නාමය වූයේ එඩ්සන් අරාන්ට්ස් ඩො නසිමෙන්ටෝ. පේලේ යනු පසුකාලීනව ඔහුට පටබැදුණු නම වෙයි.

බ්‍රසීලයේ කුඩා පාපන්දු ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයෙක් වූ, පේලේගේ පියාගේ ආභාෂයෙන් පාපන්දු ක්‍රීඩාවට යොමුවූ පේලේ කුඩා කළ සිට පාපන්දු ක්‍රීඩාවට සුවිශේෂි දක්ෂතා දැක්වීය. පා

පන්දුවක් මිලදීගැනීමට තරම්වත් වත්කමක් නොමැති දිළිඳු පවුලක උපත ලැබූ පේලේ, කුඩා කළ සිය මේස් කකුළකට පත්තර කොළ පුරවා එය පාපන්දුවක් ලෙස සාදාගෙන ක්‍රීඩාකළ බව ඔහු පසුකාලීනව සඳහන් කළේය.

15වැනි වියේදීම පේලේ බ්‍රසීලයේ සැන්ටෝස් පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගත්තේ කුඩා කළ සිටම ඔහු පාපන්දුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙනි. 

 හුරුබුහුටි යොවුන් ක්‍රීඩකයෙක් වූ පේලේගේ වේගය සහ පන්දුව හැසිරවීමේ විශිිෂ්ට හැකියාව දුටු බ්‍රසීල පාපන්දු බලධාරීන් 1958 වසරේ ස්වීඩනයේ පැවති පාපන්දු ලෝක කුසලානය සඳහා ඔහුව බ්‍රසීල කණ්ඩායමට නම් කර තිබුණි. 

එවකට 17වැනි වියේ පසුවූ පේලේ වාර්තා අතරට එක්වූයේ පාපන්දු ලෝක කුසලානයකට ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙසය. තමාට ලැබුණු අවස්ථාවට සාධාරණයක් ඉටුකළ ඔහු එම ලෝක කුසලානයේදී ගෝල 6ක් රැස් කරමින් බ්‍රසීලයට මංගල පාපන්දු ලෝක කුසලානය හිමිකර දීමට සුවිශේෂි දායකත්වයක් දැක්වීය.

සත්කාරක ස්වීඩනයට එරෙහිව අවසන් මහා තරගයේදී රැස් කළ ගෝල දෙක සැලකෙන්නේ පේලේ පාපන්දු ලොවට සිය නාමය හඳුන්වා දුන් අවස්ථාව ලෙසය. 1962 වසරේ පැවති ලෝක කුසලානයේ තරග දෙකකට පමණක් සහභාගී වූ පේලේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වුවද බ්‍රසීලය දෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට සමත් වුණි.

එවකට ලෝක පාපන්දු පිටියේ දක්ෂතම ක්‍රීඩකයාව සිටි පේලේට ලොවපුරා කෙතරම් ආදරයක් හිමිවූයේද යන්න සනාථ කරන සිදුවීමක් 1967 වසරේදී සිදුවිය.

ප්‍රදර්ශණාත්මක පාපන්දු තරගයකට සහභාගි වීම සඳහා 1967 වසරේදී පේලේ නයිජීරියාව බලා පිටත්වූ අතර ඔහු සහභාගි වන තරගය නැරඹීම සඳහා නයිජීරියාවේ එවකට පැවති සිවිල් යුද්ධය පැය 48කට නවත්වා සටන් විරාමයක් ලබාදීමට යුද්ධය සඳහා එක්වූ දෙපාර්ශවය එකඟවී තිබුණි.

ලොවක් ආදරය කළ පේලේ සිය අවසන් පාපන්දු ලෝක කුසලානයට සහභාගි වූයේ 1970 වසරේදීය. සිය අවසන් පාපන්දු ලෝක කුසලානයත් ජයග්‍රහණයකින් නිමකළ පේලේ 1970 වසරේදී තුන්වන වරටත් බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලානයක් හිමිකරදීමට දායකවූයේ පාපන්දු ලෝක කුසලාන තුනක් දිනූ ලොව පළමු සහ එකම ක්‍රීඩකයා බවට පත්වෙමිනි. 

 1957 වසරේ සිට 1971 වසර දක්වා පේලේ බ්‍රසීල කණ්ඩායම නියෝජනය කළ කාලය තුළ බ්‍රසිල කණ්ඩායම පාපන්දු තරග 92කට සහභාගි වී ඉන් තරග 67ක්ම ජයගත් අතර පරාජයට පත්වූයේ තරග 11ක් පමණය.

පේලේ සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග 92දී ගෝල 77ක් රැස් කරගනිමින් බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල රැස් කළ ක්‍රීඩකයා බවට පත්වුණි. පාපන්දුවෙන් ලොවක් මවිත කළ මෙම විශිෂ්ට ක්‍රීඩකයා 1977 වසරේදී සිය වෘත්තිය පාපන්දු දිවියට සමුදෙද්දී ඔහු පාපන්දු තරග 1363කට සහභාගි වී ගෝල 1279ක් රැස් කරගෙන සිටියේය.

ලොව වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයා ලෙස ගිනස් වාර්තාවට අදටත් හිමිකම් කියන්නේ පේලේ ය. පාද දෙකෙන්ම ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම, ඉතා වේගවත් ලෙස පන්දුව හැසිරවීමේ සහජ හැකියාවක් තිබූ පේලේ ක්‍රීඩකයෙක් ලෙස දැක්වූ දක්ෂතා සහ ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීමට දැක්වූ දායකත්වය හේතුවෙන් පාපන්දු පිටියේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසත් පාපන්දු ලොවේ රජු ලෙසත් ඔහුව හඳුන්වයි.

පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ඔහුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික අරමුදලේ තානාපතිවරයෙක් ලෙස පත් කෙරුණි. පාපන්දු ක්‍රීඩාවට කළ මෙහෙය හේතුවෙන් පේලේට ගෞරව නයිට් පදවියක් 1997 වසරේදී ලබාදුණි.

ලොවපුරා ජනතාවගේ ආදරය දිනූ පේලේව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් සියවසේ ක්‍රීඩකයා ලෙස නම් කළේය. එමෙන්ම ඔහුට සියවසේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය පිරිනැමුවේ ජාත්‍යන්තර පාපන්දු දත්ත සහ ඉතිහාස සම්මේලනයයි.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් පසුගිය නොවැම්බර් 29 වැනිදා පේලේ රෝහල්ගත කළේය. අවසන් දින කිහිපයේ පේලේගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසල සිටි බවද බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබුණි.

පාපන්දු පිටියේ ප්‍රතිවාදීන් සමග සටන් කර පහසුවෙන් ජයගත් මෙම විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයාට පිලිකාව සමග සටන් කර ජයගැනීමට හැකිවූයේ නැහැ. ඒ අනුව පාපන්දු ක්‍රීඩාවේ රජු ලෙසින් සැලකෙන පේලේ අද අළුයම සිය දිවිගමනය සමුදුන්නේය.(උපුටා ගැනීමකි)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGalleryGalleryGallery